Wednesday, May 29, 2013

96 ගාමිණී විලාවේ සුන්දර සිකුරාදා

සිංගප්පූරුවේදී සිරා කොලුවා නවාතැන් ගෙන සිටි ස්ථානය සහ මා වටා උන් සහෝදර කැළ පිළිබද තොරතුරු ඔබට කියන දිනය අදයි. කාර්යබහුල සිංගප්පූරුවේ විවිධ රාජකාරියන්හි නිරත වුවද ඔවුන් සියල්ලන්ම සහෝදරත්වයේ ශක්තිමත් බැම්මෙන් වෙලී සිටීම සැබැවින්ම ප්‍රීතියට කරුණකි.

මෙතෙක් රට කථා නොබලපු ඇත්තන්ට මෙතැනින් ඒ ඉසව්ව සොයාගන්න පුලුවන්. එහෙනං ඉතිං අපි කථාවට බහිමු.

ගාමිණී විලා වූ කලී වර්තමානයේ සිංගප්පූරුවේ සාර්ථකව රාජකාරී කරන බොහෝ වෘත්තිකයන් සිංගප්පූරුවේ අයන්න ආයන්න කියවන තුරු නතර වී සිටි ස්ථානයයි. ගාමිණී අයියා ඔවුන්ට එදිනෙදා කටයුතු කෙරෙහි රට තොට දැනුම දුන් තැනැත්තා ලෙස හැදින්වුවද වරදක් නැත. සිරා කොලුවා මේ ස්ථානයට පැමිණි දිනයේම සෙස්සන්ට මා හදුන්වා දී මා මිත්‍ර සහන් පැවසූවේ මෙයා බ්ලොග් එකකුත් ලියනවා යනුවෙනි. එතැන් පටන් උඹ මම ගැනත් ලියනවද ? අපෝ මේකා ඉන්න තැන කිසි දෙයක් කරන්න එපා උගෙ බ්ලොග් එකේ ලියයි... අඩෝව් උඹ මම ගැන ලියලා නම් අහුවෙන්න එපා ආදී තර්ජන ගර්ජන වලට අමතරව අවසානයේ මට ලැබුනු බ්ලොගා නම් හුරතල් නාමයද සහිතව උකහා ගත් ඇතැම් කරුණු හුදී ජන පහන් සංවේගය උදෙසා මෙසේ සටහන් කරමි.

දෙමහල් නිවසක් වූ ගාමිණි විලාවෙහි නිසි බලධාරියා කවුදැයි ඔබ දැනටමත් දනී. රැකියාවක් සොයාගැනීමේ අරමුණින් සිංගප්පූරුවට පැමිණ ඒ අවශ්‍යතාව ඉටුකර ගත් පසුද එහිම නතර වූ කීප දෙනෙකුද විලාවෙහි සිටී. ඊට අමතරව මා වැනි රැකියා අපේක්ෂාවෙන් එහි නවාතැන් ගෙන සිටි අයගෙන්ද අඩුවක් නොවූහ.

ගාමිණී විලාවෙහි මිදුලේ සරුසාර පේර ගසක් වෙයි. ආහාර සැකසීමට මත්තෙන් නැගී එන කුසගින්න මදකට හෝ සන්තර්පනය කරගැනීමට මා මෙන්ම අනෙක් උන්ද නොයෙක් වර ලුණු සමග පේර රස බැලුවෙමු. පේර ගසට යාබදව රතු නිවිති වැලක් මෙන්ම මයියොක්කා පැල කීපයක්ද මම දුටුවෙමි. ගාමිණී විලාවෙහි පිටුපස ඇත්තේ විශාල කරපිංචා ගසකි. එහි අතු කිනිති නිබදව කුස්සියේ අවශ්‍යතා සපුරාලයි. මේ කියූ ශාක වලට අමතරව බණ්ඩක්කා ,මෑ කරල් සහ වම්බටු වගාවක්ද තිබේ. ඊටත් එහායින් කුරුල්ලන්ට කෑම ලබාදෙන බංකුවකි. මේ සියලු ශාකයන් ලංකාවෙන් රැගෙන ගිය බීජ මගින් ජනිත කරගත් ඒවාය. එහෙත් මා එහි සිටි කාලය තුල මේ කිසිවකින් ඵල නෙලීමට අවස්ථාවක් උදා නොවීය. එකිනෙකට යා වන සේ ඉදිකර ඇති නිවාස සමූහයක් විලාවේ පසුපස මායිම සටහන් කල අතර ඉදිරියෙන් වූයේ මහා මාර්ගයයි. ඒ ඉදිරිපිට දැවැන්ත සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකි.
විලාවේ උඩුමහලේ සිට  පිටුපසින් පෙනෙන දසුන...කරපිංචා ගසද මෙහි වෙයි
විලාවේ ඉදිරිපසින් පෙනෙන දසුන
රැකියා සොයාගැනීමට පැමිණි මා වැනි එකෙකු මෙහි නවාතැන් ගැනීමට පැමිණි විටෙක ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව අයදුම්පත නිසියාකාරව සැකසීමේ සිට සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම දක්වා  අවශ්‍ය කරන උපදෙස් නිරහංකාරව ලබා දීමට මෙහි උන් සියල්ලෝම කාරුණිකය. ඉනුදු නොනැවතී හමුවන හැම විටකම දැනට ඇති ප්‍රගතිය පිළිබදව විමසීමටද ඔවුන් නිරහංකාරය. උඩුමහලේ ඇතැම් කාමර වල වූ ඇදන් තුල මකුණන් බෝ වී සිටීම නිසා සති දෙකකට පමණ වතාවක් මකුණන් වද කිරීමේ ශ්‍රමදානයක් පැවැත්වූ අතර සත්ගුණවත් සිරා මේ කාර්යයට දායක වූයේ නැත. ඒ මා බිම් මහලේ පදිංචි කරුවෙකු වූ නිසාය. මකුණන් මැරීමට සිදුවන හෙයින් විලාව හැරගිය සුපින්වතුන්ද විලාවේ ඉතිහාස කථාව තුල කියැවෙයි. විලාවේ නවාතැන් ගෙන සිටි කාලය තුල මා කිසිම ප්‍රාණඝාතයකට හවුල් වූයේ නැත. ලංකාවේදී නම් චටස් ගා මදුරුවන් කීප දෙනෙකු තලා දැමීමට දිනපතා සිදු වුවත්..විලාවේ එකදු මදුරුවෙකු හෝ නොවීය. සිංගප්පූරුවේ බොහෝ තැන් මදුරු වදයෙන් නිදහස් වුවත් ඇතැම් පලාත් වල ඩෙංගු රෝගීන් පවා වාර්තාවන තරමට මදුරු වසංගතය තිබේ.

රැකියා සොයන උන් මධ්‍යම රාත්‍රිය දක්වා ලැප්ටොප් මත දෑස් රදවා සිට නිදාගත් පසු අවදිවන්නේ සෑහෙන තරමට දවස ගෙවී ගිය පසුව හෙයින් රැකියාවට යන ඇත්තන් සමග වචනයක් දෙකක් දොඩන්නට අවකාශ ලැබෙන්නේ රාත්‍රී ආහාරය පිසින කල කුස්සියේ ඇති රවුම් මේසයේදී හෝ  සියල්ලන්ම නිවාඩු ලබන සෙනසුරාදා හෝ ඉරිදා දිනයකය. සති අන්තයේ විලාවට අවැසි දෑ ගෙන ඒමට උදෑසනින්ම වෙළද පොල වෙත ගොස් නැවත පැමිණි පසු දිනයේ ඉතිරි කාලයේ ඇතමෙක් තම යහලුවන් මුණ ගැසෙන්නට බැහැරට යති. නැතිනම් අසළ වූ පිහිනුම් තටාක සංකීර්ණයට ගොස් පිහිනීම පසෙක ලා සබන් නොමැතිව නා ගනී. එසේත් නැතිනම් සිංගප්පූරුවේ නොදුටු දසුනක් දකින්නට කැමරා ආම්පන්න රැගෙන පිටත් වෙති.

මෙන්න මේ ගාමිණී විලාවට උදාවන සතියේ සුන්දරම දිනය සිකුරාදාය. එදින උදෑසන රැකියාවට යන උන් ඒ සදහා පිටත්වන්නේ වෙනදා නැති තරමේ ප්‍රීතියකිනි. එයට එක් හේතුවක් වන්නේ ඉතිරි දින දෙකම විවේක සුවයෙන් ගත කල හැකි සති අන්තය වීමයි. අනෙක් කාරණය නම් සෑම සිකුරාදාවකම රාත්‍රියේ පැවැත්වෙන මධු සාධයයි. මධු සාදයට නියමිත දිනය සිකුරාදා වුවත් රාජකාරී ස්ථානයේ නිවාඩු දැමීමකින් තොරව සති අන්තයේ ලංකාවට ගොස් ආපසු පැමිණෙන අයෙකු ගෙන එන මධු බදුන් තිබුනොත් ඒවා හිස් කිරීමට සිකුරාදා වන තුරු සිටීමට ගාමිණී විලාවේ ඇත්තන්ට නොහැකිය. එවැනි විටක සුන්දර සිකුරාදා වෙනුවට සුන්දර අගහරුදාවක්, බදාදාවක් ඒ සතියේ උදා වෙයි.

මා ලංකාවෙන් පිටත් වන විට අම්මාට පොරොන්දු වූයේ මත්පැන් කටේවත් නොතියන බවකි. සෑම දිනකම මා සමග කථා කරන විට ඇය ඒ පිළිබදවද විමසීම පුරුද්දක් කරගෙන සිටි හෙයින් මම ඇයට බොරු කීමට මැලි වීමි. ඒ හේතුවෙන් සමුගැනීමේ සෙට්වීම හැර ඊට පෙර කිසිවකට මගෙන් දායකත්වයක් නොලැබිනි. සියල්ලන්ම පෙරැත්ත කරන්නේ මධු සාදයට පැමිණෙන ලෙසයි. එහෙත් අම්මාට බොරු කීමට මට නොහැකිය. සාදය අවසානයේ හොද හැටි මත් වූ ඹබරුන් මා හට චෝදනා කලේ...බොගා...උඹ අන්තිම කැතයි...උඹ අපි එක්ක සෙට් වෙච්ච නැති එක අපිට අවුල්...ඇයි උඹ එහෙම කලේ යනුවෙනි.

විලාවේ සිකුරාදා සාදය ඇරඹෙන්නේ රාත්‍රී 9 ට පමණය. පිටතින් මිළදී ගෙන පැමිණෙන කට ගැස්මකින් වැඩේ ආරම්භ වුවද ඒවා අවසන් වන විට ශීතකරණයේ හිරවී සිටින මාලු පාර්සල් අවශ්‍යතාවය පරිදි එකින් එක ඉන් නිදහස ලබා ගැඹුරු තෙලේ සැතපී බෝතලය සමීපයට සම්ප්‍රාප්ත වෙයි. ගාමිණී විලාවේ අමද්‍යප සංගමයක්ද වෙයි. එහි නායකත්වය දැරුවේ තිළිණ නම් මානවකයෙකි. බීමට අවශ්‍ය අඩුම කුඩුම ගැනීමට එයට දායක වන  රැකියා වල නියුතු පිරිස සම්බන්ධ කරගෙන ඩොලරය දෙක බැගින් මුදල් එකතු කිරිම සිරිතය. එවැනි විටෙක හිතාමතාම තිළිණයාගෙන්ද පිරිස මුදල් ඉල්ලයි. එවිට උගේ කටින් සැමදා පිටවෙන්නේ එකම වදන් පෙළකි.

මොනවටද බන් බොන්නේ...ඔය සල්ලි වලින් මොනවහරි කාපල්ලකො.....

උගේ පිළිතුර එසේ වුවද බයිට් එක අදාළ ස්ථානයට වාර්තා කල පසු ඉන් හමන සුවද ඉවසා ගත නොහැකි තැන තිළිණයාද එම ඉසව්වට හොර පූසකු මෙන් පැමිණ බයිට් එක ඩයට් කිරීම අරඹයි. මේ හේතුව නිසාම සැට් එක සැට් වෙන්න යන දවසට තිළිණයාද අනිවාර්යෙන් මුදලක් ලබා දිය යුතුය. ඒ බයිට් එක ඩයට් කරනවාටය. නමුත් තිළිණයාගෙන් ඩොලරයක් ගන්නවාට වඩා ඉබ්බාගෙන් පිහාටු ගන්නවා පහසුය. ඒකා ඒ තරමටම කුජීතය.

බීමේදී ලංකාවේ සිංගප්පූරුවේ කියා වෙනසක් නැත. වෙනසක් ඇත්නම් ඒ මෙහි භාවිතා වන්නේ මිළ අධික පිටරට මත්පැන් වීම පමණකි. ප්‍රේම කථා, වීර කථා, විරහා කථා වලින් අඩුවක්ද නැත. එකෙකුට එකෙකු දෙවැනි නැති නිසා බෝතල් තුන හතරක් දක්වාම සාදය දිග්ගැස්සෙයි. එවැනි විටෙක පළමු ගීතය ගයන්නේ විලාවේ කෑම පිසීමේ අංශයේ නායකත්වය දරන ලක්මාල් ළමයාය. තාලය හා සෘතිය යන්තමින් ඇති මේ ගායනාවන්ට සෙස්සෝ පසුව අත්වැල් අල්ලති. ගාමිණී අයියාගේ මුවින් පිටවෙන 70 දශකයේ ගීතාවලියට නම් සිරා කොලුවා සෑහෙන්න මනාපය. ගීත තුන හතරක් ගත වූ තැන සැට් එකට තව මදිය. වේලාව මධ්‍යම රාත්‍රියද පසුවී ඇති නිසා අලුතින් මිළදී ගන්නට ළගපාත තැනක්ද නැතිය. ගෘහ මූලික ගාමිණී අයියා ලග ඕනෑම වෙලාවක බෝතලයක් දෙකක් ගබඩා වී ඇති බැව් සෙස්සෝ ඉවෙන් මෙන් දනිති.

ගාමිණී අයියෙ එකක් දෙන්නකො.....

ඇති මල්ලි... දැන් සෑහෙන්න රෑ වෙලා...දැන් නිදිය ගන්න...එවැනි විටක තලතුනා වැඩිහිටියකු ගේ වගකීම කරට ගෙන ඔහු පවසයි.

නමුත් සෙස්සෝ වැඩේ අත හරින්නේ නැත. බෝතලයක් ඉල්ලා නාහින් අඩයි. නමුත් ගාමිණී අයියාගේ ස්ථාවරයේ වෙනසක් නැත. මෙවැනි විටෙක නැගී සිටින්නේ තාරුණ්‍යයේ අවසාන කඩඉමේ සිටින අන්කල් අයියාය.

අනේ ගාමිණී අයියේ තව එක බෝතලයක් දෙන්න යයි බිම වැටී ඔහුගේ දෙපා නැමදූ පසු තමාට වඩා වසර තුන හතරකට වයසින් අඩු තැනැත්තෙකු තමාට වැදීමෙන් ඇති වන මානසික භ්‍රාන්තිය නිසාදේ ගාමිණී අයියා හංගා ඇති තැනකින් බෝතලයක් ලබා දෙයි.

ඉන් පසුව නැගෙන ප්‍රීති ඝෝෂාවලින් ගාමිණී විලාව ගිගුම් දෙන අතර නැවතී තිබූ තැනින් ගීත ගායනය ඇරඹෙන්නේ පෙරට වඩා වැඩි උච්ඡ ලයෙනි. මේ අවස්ථාව වන විට නේවාසිකයන් අතර සිටින කීප දෙනෙකුටම මව් භාෂාව අමතක වන අතර ඉංගිරිසිය පමණක් දොඩන්නට වෙයි. ඒ අතර ප්‍රමුඛයෙකු ලෙස මගේ මතකයට නැගෙන්නේ හසිත මලයායි. වෛද්‍ය වරියක හා පෙමින් වෙලී සිටින, සියලුම රෝගාබාධ සදහා ලගටම විත් ඇගෙන් ලබාගත් බෙහෙත් වට්ටෝරු ලබා දෙන හසිත මලයා සැබවින්ම ආශ්‍රයට කදිම මිතුරෙකි.

ඔහු හා මා සමග නිතරම ගැටුනු චරිතය වාසනා නම් විය. ගාමිණී විලාවට අවාසනාව වාසනා බැව් ගාමිණී අයියා කීප වතාවක් කියනු මම අසා ඇත්තෙමි. ඒ හුදෙක් විනෝදය පිණිස විය යුතුය.  ගාමිණී විලාව ඉදිරියෙන් ශරීර සෞඛ්‍ය උදෙසා හැන්දෑ යාමයේ දිවීමේ නිරත වන කාන්තාවන් හා පිරිමින් රාශියකි. දින කීපයක් මේ දසුන දැකීමෙන් කුල්මත් වූ වාසනාද හදිසියේම දිවීමේ ඇදුම් කට්ටලයකින් සැරසී රැකියාවෙන් අනතුරුව දිනපතා මාර්ග ධාවනයේ නිරත වන්නට විය. ඔහුගේ අභිප්‍රාය වී ඇත්තේ  ශරීර සෞඛ්‍යය රැක ගැනීමට වඩා දිවීමේ නිරත මැදිවයසේ කාන්තාවකට ලං වීමේ බලාපොරොත්තුව බව මම පසුව දැනගත්තේ තවකෙකුගෙනි. මෙලෝ සිහියක් නැතුව මෙලෙස කාන්තාවක් පසුපස දිනක් දිවගොස් ඇති වාසනා අවසානයේ මාර්ගය සොයාගත නොහැකිව අතරමං විය. ඒ ඔහුට වඩා වේගයෙන් කාන්තාව ධාවනයේ යෙදී හදිසියේ නොපෙනී ගොස් ඇති හෙයිනි. කෙසේ හෝ අවසානයේ දුම්රිය පලක් සොයාගොස් දුම්රියක ගොඩ වී දාඩිය පෙරාගෙන විලාවට පැමිණ හතර ගාතෙන් වැටුනු ඔහු සපථ කලේ ආයෙත් නම් දුවන්න යන්නේ නැති බවකි. එහෙත් මා විලාවෙන් සමුගන්නා දිනය තෙක්ම ඔහු වරින් වර ධාවනයේ නිරත විය.

ශරීරය දැකුම්කළු නිසා දත් ඉතා සුදුවට පෙනෙන වාසනා නිතරම අමුතුම භීතියකින් පසුවෙයි. ඒ කාර්යාල වේලාව තුල ඔහුට වැසිකිළි අවශ්‍යතාවක් ඇතිවේදැයි යන කාරණයයි. සිංගප්පූරු ජාතිකයන් අහවල් කැත වැඩේ කලාට පසු පසුපස කලාපය ජලය භාවිතයෙන් සේදීමක් නැත. ඒ වෙනුවට පාවිච්චි කරන්නේ ටොයිලට් පේපර්ස් හෙයින් මෙහි කාර්යාල වල ඇත්තේද ඒවාය. ඉදින් වාසනාගේ භිය සාධාරණ එකක්යැයි වෙලාවක මටද සිතෙයි. පරාටා තුනක් අනුභව කර කිරි වීදුරුවක්ද කුසට හලාගෙන හදිසි අවශ්‍යතාවකට දුම්රියෙන් බැහැරට ගිය සත්ගුණවත් සිරා කොලුවාටද වරක් හදිසියේම කැත වැඩේ කරන්නට ලක්ෂණ පහළ වූයෙන් දුම්රිය ස්ථානයකට යාබදව තිබු සුපිරි වෙළදසලක සුපිරි වැසිකිළියක් එයට උපකාරී විය. ඉතාමත්ම පිරිසිදුව මේවා පවත්වාගෙන ගියත් ටොයිලට් පේපරයකින්  ජීවිතයේ ප්‍රථම වතාවට පශ්චාත් භාගය පිසදාගැනීමේ නවනිංගිරාව විදගැනීමට එදා මෙමටද සිදු විය.

අන්කල් අයියා ගාමිණී අයියාට වැද ලබාගත් බෝතලයේ ආනුභාවයෙන් දැන් දැන් ගී හඩ ඉතාමත් උස්ව නැගෙයි. මේ අසල්වාසීන් සුව සේ නිදන අලුයම් කාලයයි. මෙවැනි විටක විලාවේ දකුණු පසින් සිටින චීනා ලගම පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමත්, පොලීසියේ ඇත්තන් පැමිණෙන විට හැමදාමත් පිරිස නිෂ්ශබ්දව සිටීමත් නිසා මෙතෙක් කල් ගැටලුවක් ඇති නොවීමත් දැන් දැන් සාමාන්‍ය කාරණයකි. කලින් ලබාගත් අවසරයක් නොමැතිව නිවසක් තුලට ඇතුලුවීමට අවසරයක් නොමැති හෙයින් විලාවේ ගේට්ටුව ඉක්මවා පොලීසිය කිසි දිනක පැමිණෙන්නේ නැත. විලාවේ වම් පසින් සිටින්නේද චීනෙකි. ඔහුට වාහන කීපයක් ඇති අතර ඒවා නවත්වන්නට ඔහුගේ නිවසේ ඉඩකඩ මදිය. ඔහු සතු කැන්ටර් රථයක් විලාවේ ගේට්ටුව ඉදිරිපස ගේට්ටුව සම්පූර්ණයෙන් වැසෙන සේ නවතා තැබීමට ගාමිණී අයියා ලබා දී ඇති අවසරය නිසා ඒ චීනා කිසි දිනක පොලිසියට පැමිණිලි කරන්නේ නැත.

විලාවේ සිටි අනෙක් අය අතර මොන්ඩි/ (වල්) රුවන්/ සජ්ජා/ ජීවන්/ සම්පත්/දර්ශන/හර්ෂණ යන අය වූහ. මේ සියල්ලන්ම ඉතා සුහද පිරිසක් වූ අතර දකුණු ලකෙන් පැමිණි තවත් අයෙකු වූ සම්පත් මොරටුව සරසවියේ ඉලෙක්ට්‍රෝනික විද්‍යාව පිළිබද පළමු පන්තියේ උපාධියක් ලද සුපිරි බුද්ධිමතෙකි. වචනයේ අර්ථයෙන්ම අඩි පහක් උස නැති රුවා නම් වල් පදුරකි. නිතරම දූරියන් කන්නට කැමතිය. මොන්ඩි නම් සිනාවකින් දවස අරඹා සිනාවකින්ම දවස අවසන් කරන කාටවත් කරදරයක් නැති අහිංසකයෙකි. ඇල්වතුරත් නිවා බොන හෙතෙම ඉතා හොද හදවතක් ඇති එකෙකි.  සජ්ජා විලාවේ අයවැය සම්බන්ධව කටයුතු කරන නිසි බලධාරියාය. සෑම රාත්‍රියකම උඩුමහලට වී ජීවන් හා දර්ශන කලු පැහැති ගිටාරයේ තත් හඩවන්නේ සිත අතීතයේ බොහෝ දුර ගෙන යමිනි. මේ සියල්ලන් සමග අන්කල් අයියා තමන්ගේ අත්දැකීම් බෙදාගනිමින් සම වයසේ එකෙකු මෙන් වාසය කරයි. රූපවාහිනී විකාශන තාක්ෂණයන් පිළිබද අත්දැකීම් සපිරි ඉංජිනේරුවරයෙකු වන හෙතෙම මා විලාවෙන් සමුගන්නා දිනය වන විට ඇමරිකාවේ වැඩිදුර පුහුණුවකට ගොස් සිටි හෙයින් අවසන් සාදයේදී හමුවීමට අවස්ථාවක් නොලැබුනි.

මම මේ අය පිළිබදව මෙහි සටහනක් තැබූයේ ඔවුන්ද දැන් සිරාගේ කාමරයට යන එන පිරිසක් වී ඇති හෙයිනි. විලාවේ සහෝදර වරුනි. ඔබෙන් වෙන්වීම මට සැබැවින්ම දුකක් වුවත් නුදුරු දිනයක මම නැවතත් ඔබ දැක ගැනීමට විලාවට එමි. මා හට නොයෙක් වර කල උපකාරයන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

සිරා විලාවෙන් සමුගැනීමට ප්‍රථම පැවති අවසන් මධු සාදයට මමද එක් වීමි.  Punggol Park හි පැවති එය සැබැවින්ම සොදුරු මොහොතකි. ඇති වෙන්නට බඩු තිබූ ඒ සාදයේ මුලින්ම කට් ඩවුන් වූයේ පෙර කියූ වාසනා ළමයායි. උද්‍යානයේ වූ බංකුවක් මත ඔහු සැතපවූ සෙස්සන් අතරින් කීප දෙනෙකුද පසුව ඒ මගම ගියෝය. අලංකාරව නිමවා ඇති උද්‍යානයේ  ධාවනයේ නිරත වීමට වෙනම මං තීරු තිබූ අතර මගේ මැරතන් ඉතිහාසය හදිසියේ මතක් වීමෙන් කිලෝමීටරයකට මදක් වැඩි ප්‍රමාණයේ වට 3ක් අපහසුවෙන් බඩගෙඩිය දරාගෙන දිව යාමට සිරා කොලුවා සමත් විය. මා සමග ධාවනයට එක් වූ මොන්ඩි පළමු වටයේ අර්ධයක් දිවගොස් නතර වූයේ ඇන්ජිම බොයිල් වූ නිසාවෙනි.

ව්‍යායාම උපකරණ / අවන්හල්/ සහිතව සොදුරු පරිසරයක පිහිටුවා ඇති මේ උද්‍යානය වසා දමන වේලාවක් නැත. අවන්හල නම් රාත්‍රී කාලයේ වසා තබයි. ආදරයෙන් වෙලී ගිය පෙම්වතුන් අප එහි සිටි අළුයම 3ට පවා ලී බංකු මත දිටිමි. උද්‍යානයට ඇතුලු වීමට ප්‍රවේශ පත්‍ර උවමනා නැත. විලාවේ ඇත්තන්ට මධු පානයෙන් පසු ශබ්ද නගා ගීත ගායනයට ඇති රුචිය සමනය කර ගැනීමට එය කදිම ස්ථානයක් විය.

ගාමිණී විලා යනුවෙන් සදහන් සෑම තැනකම වි යන්න නිවැරදිව ලියැවී ඇතිදැයි හැමවිටම බැලුවෙමි. නැතිනම් සිරා ජීවත් වී හමාරය.




Sunday, May 26, 2013

74 රුපියල් 40 කට තුවක්කුවක්

එක ලග ලියැවුනු සිරාගේ රට කථා කීපයකින්  පසු ඒ සදහා කෙටි විරාමයක් තබන්නට කල්පනා කළෙමි. එක දිගටම ඒ සම්බන්ධයෙන් කියවීම ඔබට නීරස විය හැකි යයි සිතුනු නිසා සිරාගේ සීයා පෙරදිනයක කියවූ පත්තර ඇසුරින් ඔබ වෙත ගෙන ආ එදා පත්තර කී කථා  විශේෂාංගයට අද නැවතත් යොමු වෙමු. මේ වන විට මේ ලේබලයෙන් ලියවුනු සටහන් කීපයකි. ඒවා කියවීමට අතපසු වූ අය සිටී නම් ඉහත දැක්වූ ලින්කුව ඒ සදහා මග කියාවි.

අද මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ 1959 වසර වන විට ශ්‍රී ලාංකීය වෙළද පොල ජයගෙන සිටි පාරිභෝගික නිෂ්පාදන පෙළකි. ඒවායේ රුව ගුණ තේජස පෙන්වන්නට රූපවාහිනී කලාවක් එකල නොවූයෙන් ඒ වගකීම ප්‍රධාන පෙලේ ජාතික පුවත් පත් වෙත පැවරී තිබිනි. අතීතයේ පලවු පුවත්පත් දැන්වීම් හා වර්තමාන දැන්වීම් අතර ප්‍රධාන වෙනස ලෙස මා දකින්නේ සිංහල භාෂාව භාවිතා ඇති ආකාරය බැව් මා මීට පෙරද පවසා තිබේ. ඇතැම් විටක හාස්‍ය ස්වරූපයක් ගන්නා මේ භාෂා භාවිතයට හේතුව සිංහල පිළිබද දැනුම අඩු ඉංග්‍රීසියෙන් උගත් අයවලුන් පත්තර කන්තෝරු වල වගකිවයුතු පුටු වල සිටීම බැව් වරෙක මට දැනගැනීමට ලැබිනි. අද රට පුරා දැන්වීම් ප්‍රචාරන ආයතන තිබුනත්...එදා මේ දැන්වීම් නිර්මාණය කර ඇත්තේ පුවත් පත් ආයතන මගින් පමණයි.

වර්තමානයේ වෙළදපලේ දක්නට නැති නිෂ්පාදනයක් පිළිබද දැන්වීමක් මුලින්ම,


අලුත් ඇස් ආර් වල සිසිල් රසටත්, පෙණ නගින ගතියටත් ඔබ ආශා වෙයි. මුඛයට අළුත් මිහිරියාවක්, ආශ්වාසයට අමුතු ක්‍රියාකාරිත්වයක් ඇතිවන බව ඔබට දැනෙයි. මතක තබා ගන්න, විදුරු මස් වල ලෙඩ රෝගයන්ට හා ඉන් ආරක්ෂා වීමට දන්ත වෛද්‍යවරු පාවිච්චි කරන සෝඩියම් රිසිනෙලි‍යෙට් අඩංගු ඇස් ආර් වල පමණය. එය සැමදා ඔබේ විදුරු මස් ඝණව හා නීරෝගීවද, දත් ශක්තිමත්ව හා සුරක්ෂිතවද තබයි. අළුත් ගිබ්ස් ඇස් ආර් අදම පාවිච්චි කර බලන්න.

සිරා කුඩාකල බඩ රිදෙනවා අද ඉස්කෝලෙ යන්න බෑ කී කල මගේ මිත්තනියගේ පිළිතුර වූයේ ඊළගට දක්වා ඇති නිෂ්පාදනය පානය කිරීමට සලස්වා මා නිවසේ රැදවීම යහපත් බවයි. නිතර නිතර හොර අසනීප ගනිමින් පාසල් නොයන්නට වෙර දැරූ එකෙකු නොවූ මා එවැන්නක් පවසන්නේ සැබෑවටම එසේ වූ විටක පමණි. අදද වෙළදපලේ ඇති මේ නිෂ්පාදනය පිළිබද වර්තමාන පරපුරට වඩා ඉහ නිකට පැහුණු ඇත්තෝ හොදින් දනිති.



මොරවක මෙඩිටෝ බෝතලයටත් ඉමිටේෂන් වර්ග හදපු ඇත්තො ඒ කාලෙත් ඉදලා තියෙනවනෙ හැබෑටම...

ඊළගට අපි යොමුවෙන්නෙ වර්තමානයේදිත් වෙළදපොලේ ඉතාමත් ඉහළ කීර්තිනාමයක් දිනා සිටින සුප්‍රසිද්ධ ලිවර් බ්‍රදර්ස් සමාගමේ නිෂ්පාදනයක් වෙත. රෙදි හෝදන කාරණය ගැන කථා කරනවානම් මේ නිෂ්පාදනේ නමත් අනිවාර්යෙන්ම කියවෙනවා.


ඔබේ පවුල ගැන ආඩම්බර වන්න, ඔවුනට දිනපතාම අළුතෙන් සේදූ පිරිසිදු ඇදුම් අන්දවන්න. සන්ලයිට් වලින් දිනපතා සේදීමෙන් පුදුමාකාර ලාභයක් ඔබට ලැබේ. මක්නිසාද ? සන්ලයිට් ස්වල්පයකින් ඇදුම් රාශියක් සෝදාගත හැක. කමිස, කලිසන්, සාරි, තුවා පමණක් නොව ඇද ඇතිරිලි පවා සන්ලයිට් වලින් සේදීම පහසුය. 

සන්ලයිට් වල ඇති විශේෂ පෙණ පිඩු ගලේ ගැසීමක් නැතුවම ඇදුම් වල දිප්තිමත් සුදු පැහැයන් ගෙනදේ. මතක තබා ගන්න. දිනපතාම ඇදුම් සෝදන විට ඔබට සේදීමට ඇත්තේ ස්වල්පයකි. ගෙදරදී සන්ලයිට් වලින් සේදිමෙන් ඇදුම් දිරා යාම වළකී. වැඩිකල් පවතී. 

පිරිමින්ටම සුවිශේෂී වූ උපකරණයක් පිළිබද මීළගට සලකා බලමු. වර්තමානයේ වුවද මෙහි ප්‍රසිද්ධියේ වෙනසක් නැත. රැවුල කපන අය අදද මෙහි විශිෂ්ඨත්වය දනී.


වර්තමානයේ නම් ඉතාමත් කලාතුරකින් පාවිච්චි කරන මුත් මා කුඩා කල නිතර පානය කරන්න ලැබුනු පානයකි මේ. එහි ඇති සුවිශේෂී සුවද සමහරුන්ට දිරවන්නේ නැත. පානයක් ලෙස මෙන්ම පාන් මත තැවරුමක් ලෙසද භාවිතා කල හැකි මාමයිට් අදද වෙළදපොලේ තිබේ. නමුත් මේ කියන ආකාරයෙන් ආහාර පිසීම සදහා එය උපකාරී කරගන්නා අන්දමක් ගැන මම මෙය දකින තුරු දැන සිටියේ නැත.


මාමයිට් ගැන දැනගැනීමට පෙර ඈ කෙසේ කෑම පිළියෙල කළේද යන්න ඈට පුදුමයකි. මුලු පවුලේම අය එයට කැමතියි. එය ඔවුනට බොහෝ ප්‍රයෝජනවත් වී ඇත. ඔවුන් වැඩි හොදට කෑම ගනිති. දැන් ඈ සුප් සහ සේවරි ආදියට මාමයිට් යොදන නිසා වඩාත් පැසසුම් ලබයි. මාමයිට් පිරිසිදු යීස්ට් සහ එළවළු සාර රසයකි. එය විටමින් බී බහුල වශයෙන් ලබාගැනීමට මාර්ගයකි. එහි මස් හෝ සත්ව තෙල් නොමැතියි. සියල්ලෝම මාමයිට් වලට ප්‍රිය කරති. එය ඉතා පිරිමැස්මදායකයි. අදම ටිකක් පාවිච්චි කර බලන්න. 

රස විදීමට (බටර් සහිත හෝ නොමැති) පාන් හෝ විස්කෝතුවල යොදා පාවිච්චි කරන්න. ඔබ එහි ඇති ආහාර රුචිය වඩවන ප්‍රනීත රසයට ප්‍රියවඩනු නිසැකය.

ප්‍රණීත රසැති මාමයිට් වලින් සාදන විට මුලු පවුලේම අය සුප් ආශාවෙන් පානය කරනු ඇත. ඔවුන් තව තවත් ඉල්ලනු නිසැක නිසා එය වැඩියෙන් සාදන්න.

ඒ බවර් සහ සමාගම පොහොර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකි. එහෙත් ඔවුන් බිස්කට් වෙළදාමේද නිරත වී සිට ඇති බැව් දැනගත්තේ මේ දැන්වීමෙනි. මේ නාමයෙන් තවමත් වෙළදපොලේ නිෂ්පාදනයක් තිබේදැයි නොදනිමි.



අප කුඩා කල නොයෙක් වර භුක්ති විදීමට ලැබුනු නිෂ්පාදනයකි මේ. මෝර ගුලි ලෙසද වඩාත් ප්‍රසිද්ධ වූ තවත් ආකාරයක් වෙයි.

























මීළගට ඇති නිෂ්පාදනය දුටු විට මේවා පාවිච්චි කරන ඇත්තන් අදත් මේ මිළටම ඒවා දෙනවා නම් කෙතරම් සතුටු වනු ඇද්ද.... එසේ වී නම් කිසිවෙකු එක, දෙක බැගින් මිළදී නොගන්නවා ඇත. පැකට් පමණක් ගන්නවා නියතය. එකල සිගරට් ශරීරයට සැනසුම දුන්  නිසාදෝ සිගරට් බොන ඇත්තන්ට පිළිකා අවධානමක් තිබී නැති බවක් පෙනේ. ඒ හෙයින්ම රජයේ අවවාදය යනුවෙන් පෙට්ටිය මත සටහන්ව නැත.

සිගරට් බොන ඇත්තන්ගෙන් මම මේ අහන්නෙ.....තාමත් සිගරට් මුදලේ නියම වටිනාකම දෙනවාද ?


පාරිභෝගික ද්‍රව්‍ය අස්සෙ වෙනස් දැන්වීමක් ඉදිරිපත් කරන්නයි මේ වෑයම. මේ  දැන්වීම දැක්ක ගමන් මට මතක් වුනේ අපේ විචාරක තුමාව, තුවක්කු ගැන දැනුම අපට ලබාදෙන්නෙ ඉතිං එතුමා නොවැ...එදා පත්තර වල දැන්වීම් දාලා තුවක්කු විකුණන්න ඇත්තෙ සතුන්ගෙන් වගා හානි බේරා ගැනීමට අවශ්‍ය ගොවි මහතුන්ගෙ ප්‍රයෝජනයට කියලයි මට හිතෙන්නෙ. මොකද කියන්නෙ සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව රුපියල් 40 ට තුවක්කුවක් ගමුද ?


1959 වගේ අවදියක ජනතාවට විනෝදාස්වාදය උදෙසා තිබූ අවස්ථා සීමිත නිසා  චිත්‍රපට කර්මාන්තය ඉතාමත් හොදින් ලාභ ලබමින් පැවතුනා. එකල නිපදවුනු චිත්‍රපට අද වගේ ප්‍රේක්ෂකයගෙ සාක්කුවට විදින ඒවා නොවුන නිසාත්....සමාජයට යම් වැදගත් පණිවිඩයක්  ලබා දෙන නිසාත්, වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් මිදිලා තිබුන නිසාත් ඒවා නරඹන්න පවුල් පිටින් තමයි ප්‍රේක්ෂකයො චිත්‍රපට ශාලා වලට ගොස් තිබෙන්නෙ. අන්න එහෙම සාඩම්බර අතීතයක චිත්‍රපට දැන්වීමක් බලන්න ලැබුනොත් නරකම නෑ නේද... මෙහි සදහන් සිරිමලී චිත්‍රපටය ඒ අවදියේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ එකක්. මා කීප වතාවක් මේ චිත්‍රපටය පසුකාලීනව රූපවාහිනියෙන් නැරඹුවා.

පටන්ගැන්මේ සිට අවසානය දක්වා ඔබව කුල්මත් කරන මෙවැනි සිංහල චිත්‍රපටයක් පෙර නොවූ විරූය. 


ඔන්න ඒ අස්සෙ හාල් මිළත් නැගලා... හාල් , පාන්, මේ වගේ පාරිභෝගික ද්‍රව්‍ය වල මිළ ඉහළ යාම් කෙතරම් ශ්‍රී ලාංකීය ජනජීවිතයට බලපෑම් කලාද කියතොත්...පැවති රජයන් පවා බිද වැටුනා...සමහරු හදෙන් හාල් ගේන්න සැලසුම් හැදුවා.... ඔන්න එහෙනම් 1959 සැප්තැම්බර් මාසයේ බඩු මිළ.



එහෙනම් අදට අහවරයි. ආයෙත් දවසක පරණ පත්තර එක්ක හමු වෙමු.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..






Tuesday, May 21, 2013

175 සිංගප්පූරුවේ දුම්රිය සහ නොකී කථා

මේ සිරාගේ රට කථා මාලාවේ තුන්වන පියවරයි. බැලු බැල්මට සංවර්ධනයේ හිණිපෙත්තට පිවිස සිටින සිංගප්පූරුවේ පිටතට නොපෙනෙන පැතිකඩක් මෙන්ම එහි දුම්රිය සේවයේ ඇති දියුණුවද කියවන ඔබ වෙත අද මම හෙළිදරව් කරමි.

කලින් කොටස් අතපසු වී නම් කියවගෙනම එන්න. 1 කොටස 2 කොටස

නූතන තාක්ෂණයේ ආශිර්වාදය ලත් සිංගප්පූරුව මතුපිටින් සැබැවින්ම සුන්දර දේශයකි. බැලූ බැලූ අත මල් ගොමුය. උස් ගොඩනැගිලිය. වේගයෙන් ධාවනය වන අති නවීන රථවාහනය. අධිවේගී මාර්ග සහිත ජනාකීර්ණ මාර්ග දෙපස උද්‍යන අලංකරණය චමත්කාරජනක හැගීමක් සිත තුල මවයි. ඇතැම් උස් ගොඩනැගිලි අලංකෘතව ඇත්තේද ඒවායේ ඉහළ මාලවල සිටුවා ඇති ශාකයන්ගෙන් ජනනය වූ ස්භාවික පුෂ්පයන්ගෙනි. මා ඇවිද ගිය සෑම මාවතක්ම ඉතාමත් පිරිසිදුය. කොළ කැබැල්ලක් පවා නොමැතිය.





එරටට ගිය ප්‍රථම දිනයේම තනිව අවශ්‍ය තැනකට යාමේ පුහුණුව ලබාදීමේ අරමුණින් මා මිත්‍රයා සහන් මා දුම්රියේ රැගෙන ගියේය. නීති මෙන්ම රීති ද කියා දුන්නේය. දුම්රියේ හා බස් රථ වල යාමට අවශ්‍ය කාඩ් පත මෙරට සිට මව්බිම පැමිණි මගේ ඥාති සහෝදරයකු වේලාසනින් මට ලබාදී තිබූ නිසා අමතර වැයකින් මෙන්ම අපහසුතාවලින්ද මා නිදහස් විය.

සිංගප්පූරුව කුඩා රටක් වුවද එහි කාර්යක්ෂමතාවයේ මුදුන් මුල ලෙස දැක්විය හැක්කේ එරට ප්‍රවාහන පද්ධතියයි. මනාව ක්‍රියාත්මක වන, රටේ වැඩි කොටසක් ආවරණය වන පරිදි නිමැවූ දුම්රිය මාර්ග පද්ධතිය එයින් වැඩි කොටසකට උර දෙයි. සිංගප්පූරු රජයේ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන ආයතන දෙකක් මගින් දුම්රිය, බස් , කුලී රථ ආදී සේවා ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යයි. ඒවා සියල්ල එකිනෙකට සම්බන්ධ වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරයි. සිංගප්පූරුවේ දුම්රිය ස්ථාන මෙන්ම දුම්රිය හැදින්වීමට භාවිතා කරන්නේද MRT (Mass Rapid Transit) යන වදනයි. එහෙත් දුම්රිය ධාවනය නොවන පෙදෙස් වලට ගමන් කල හැකි පරිදි සකසා ඇති LRT (Light Rail Transit) නම් විශේෂ ප්‍රවාහන මාධ්‍යයක් ද වෙයි. එය බස් රථයක තරම වන රථයකි. යකඩ පීලි වෙනුවට නගරයට ඉහළින් දිවෙන කොන්ක්‍රීට් බැමි දෙකක් මත රියදුරෙකු රහිතව විදුලියෙන් ධාවනය වෙයි. අවශ්‍ය ස්ථාන වල ස්වයංක්‍රීයව නතර වන අතර දොර ඇරීම වැසීම ස්වයංක්‍රීයව සිදුවෙයි. මෙම ස්වයංක්‍රීය තත්වයන් MRT වලද එකසේ ක්‍රියාත්මක වෙයි.

LRT මාර්ගයක්

LRT රථයක් 

LRT රථයක සමීප දසුනක්


සිංගප්පූරුවේ දුම්රිය මාර්ගයන් වෙත ඒවා විහිදෙන දිශාව අනුව වෙන් වෙන් වශයෙන් වර්ණයක් ලබා දී ඇති අතර එම මාර්ගය හදුන්වන්නේ එම වර්ණයේ නාමයෙන්ය. එම මාර්ගයේ ඇති සියලුම දුම්රිය සථානයන්හි නම සටහන් කර ඇත්තේද පෙර කියූ වර්ණය පසුබිම් වර්ණය ලෙස යොදාගනිමිනි. 

අලු පැහැයෙන් LRT මාර්ගයන් දක්වා ඇත
ඒ අනුව උතුරේ සිට දකුණට විහිදෙන මාර්ගය රතු පැහැතිය. සම්පූර්ණ දුර කිලෝ මීටර් 45 කි. දුම්රිය ස්ථාන 26කි. නැගෙනහිර සිට බටහිරට විහිදෙන මාර්ගය කොළ පැහැතිය. සම්පූර්ණ දුර කිලෝ මීටර් 57.2 කි. දුම්රිය ස්ථාන 35කි. උතුරේ සිට නැගෙනහිරට විහිදෙන මාර්ගය දම් පැහැතිය. සම්පූර්ණ දුර කිලෝමීටර් 20 කි. දුම්රිය ස්ථාන 16කි. මේවා අතරින් පැරණිම දුම්රිය මාර්ගය රතු පැහැති මාර්ගයයි. වැඩ නිමවීමෙන් පසු එය විවෘත කර ඇත්තේ 1987 වසරේය.

ඉහත සියලුම දුම්රිය මාර්ගයන් හරහා ගමන් කරන දුම්රිය මාර්ගයක්ද වෙයි. එය තැඹිලි පැහැයෙන් සංඛේතවත් වන අතර Circle Line නම් විශේෂිත නාමයෙන් හදුන්වයි. යම් අයෙකුට එක් වර්ණයක සිට තවත් වර්ණයක දුම්රිය මාර්ගයකට පැමිණීමට උපකාර වන සේ එය ඉදිකර තිබේ. එහි සම්පූර්ණ දුර කිලෝ මීටර් 35.7 කි. 30 කට වැඩි දුම්රිය ස්ථාන සංඛ්‍යාවක් එම මාර්ගයේ තිබේ. මීට අමතරව එක් දුම්රිය මාර්ගයක සිට තවත් දුම්රිය මාර්ගයකට මාරු විය හැකි දුම්රිය ස්ථාන (Interchange Station) ඇති අතර මේ සියලුම තොරතුරු අඩංගු සිතියම් දුම්රිය පල තුල මෙන්ම දුම්රියේ සෑම මැදිරියක් තුලද පැහැදිලිව දක්වා තිබීම ඒවායේ ගමන් ගන්නා අත්දැකීම් රහිත අයට සෑහෙන තරමේ පහසුවක් ඇති කරයි. එම තොරතුරු සෑම විටම ඉංග්‍රීසි,චීන හා දෙමළ භාෂා වලින් දක්වා තිබීමත් දුම්රියේ ගමන් කරනා විට හඩ පටයක් මගින් මේ භාෂා ත්‍රිත්වයෙන්ම ඊළගට ඇති දුම්රිය ස්ථානයේ නම පිළිබද දැනුවත් කිරීමත්, දුම්රිය මැදිරිය තුල ඇති තිරයක ඉංග්‍රීසි භාෂාවෙන් ඊළගට නියමිත දුම්රිය ස්ථානයේ නම සටහන් වීමත්, දුම්රිය මැදිරියේ ඇති සිතියමේ දැල්වෙන බල්බයකින් ඒ බැව් දැන්වීමත් ආදී ක්‍රම රාශියක් මගීන්ගේ පහසුවට වෙයි.

දම් පැහැති දුම්රිය මාර්ගයේ දුම්රියක් ඇතුලත  දර්ශනයක්


මගේ නවාතැන හෙවත් ගාමිණී විලා පිහිටියේ දම් පැහැති දුම්රිය මග සමීපයෙන් නිසා මා වැඩි වාරයක් ගමන් කලේ එම මාර්ගයේ දුම්රියන්හිය. දම්පැහැති මාර්ගය සම්පූර්ණයෙන්ම පොළව යටින් දිවෙන්නකි. සමහර මාර්ග යම් දුරක් පොළව යටින් ගොස් පොළව මතුපිටට පැමිණෙයි. සෑම දුම්රිය ස්ථානයකම එක්ස්කැලේටර් (Escalator) ඇති අතර හැම විටම ඒවායේ වම් පසින් සිට ගැනීම රීතියකි. ඒ අනුව ඉක්මනින් යාමට අවශ්‍ය අය දකුණු පසින් ඉදිරියට ගමන් කරයි. දුම්රිය ස්ථානයට ඇතුලුවීමට පෙර ඇති බාධක කවුළු දුම්රිය කාඩ් පත නිසි ස්ථානයේ තැබූ විට විවර වන අතර මුදල් පසුම්බිය තුල කාඩ්පත රුවා පසුම්බිය ඒ මත තැබීම බොහෝ දෙනා අනුගමනය කරන ක්‍රමයයි. දුම්රිය වේදිකාවේ දොරටු විවර වන්නේ දුම්රියක් පැමිණ නතර වූ පසු පමණි. දුම්රිය වේදිකාවේ දොරටු වලට දුම්රියේ දොරටු හැම විටම සම්මුඛ වන පරිදි දුම්රිය ස්වයංක්‍රීයව නතර වෙයි. තමා දුම්රියෙන් බසින දුම්රිය ස්ථානයේ පිටවන ස්ථානයේ ඇති බාධක කවුළු නැවත වරක් කාඩ් පත තැබූ විට විවර වන අතර එම වාරයට අය කිරීම මෙන්ම කාඩ්පතේ ඉතිරියද එහි ඇති යන්ත්‍රයේ දිස්වෙයි. සෑම දුම්රිය ස්ථානයක පිහිටා ඇති යන්ත්‍ර විශේෂයක් මගින් කාඩ්පතට අලුතින් මුදල් ඇතුලත් කිරීම සහ ශේෂය විමසීම සිදුකල හැක. එම යන්ත්‍රය හරහා මුදල් ඇතුලත් කරගැනීමට නොහැකි අයවලුන් වෙත උපකාර කිරීමට දුම්රිය ස්ථානය තුල වෙනම කවුළුවක් තිබේ.එහි සේවයේ නිරත වන අය මගින්ද ඒ කාර්යය කරගත හැක.
දුම්රිය ස්ථාන පිවිසුමේ ඇති බාධක කවුළු

සෑම දුම්රිය ස්ථානයකම ඇති  ඇස්කැලේටර්

මේ පියගැටපෙලින් පහතට ගිය විට ඇත්තේ දුම්රිය වේදිකාවයි.
වසා ඇති දොරටු දුම්රියක් පැමිණ නතර කල පසු ස්වයංක්‍රීයව විවෘත වෙයි.


දුම්රිය පැමිණීමට ගතවන කාලය හා දුම්රිය මාර්ගයන් පිළිබද සිතියම් අඩංගු තිර


මල් වවා සුන්දර කර ඇති දුම්රිය ස්ථානයක්

සෑමවිටකම දුම්රිය ලගා වීමට ගතවන කාලය දුම්රිය වේදිකාවේ ඇති තිරයන්හි සටහන් වෙයි. තදබදය වැඩි උදෑසන හා සැන්දෑ කාලයේ සෑම විනාඩි 3කට පමණ වතාවක් දුම්රිය ධාවනය වන අතර තදබදය අඩු දහවල් කාලයේ සෑම විනාඩි 6කට පමණ වතාවක් දුම්රියක් ධාවනය වෙයි. සෑම උමං දුම්රිය පළක් මෙන්ම දුම්රිය හා බස්රියද වායු සමනය කර ඇති අතර ඉතාමත් පිරිසිදුය. දුම්රියෙන් බසින මගීන්ට අවහිරයක් ඇති නොවන පරිදි දුම්රියට නැගීමට සිටින අය සිටිය යුතු ස්ථාන වේදිකාවේ පොළව මත දක්වා ඇති අතර සියල්ලන්ම එයට අනුගත වෙයි.
රතු ඊතල වලින් දක්වා ඇත්තේ දුම්රියට නැගීමට 
බලාපොරොත්තුවෙන් සිටින අය නැවතී සිටිය යුතු ස්ථානයි.
කොළ පැහැයෙන් දැක්වෙන්නේ දුම්රියෙන් බසින අය ගමන් කලයුතු දිශාවයි.














කාඩ්පතට මුදල් ඇතුලත් කරන යන්ත්‍රයක්
පොදු ප්‍රවාහන මාධ්‍ය තුල ආහාර අනුභවය මෙන්ම ජලය/බීම වර්ග පානයද සපුරා තහනම්ය. එසේ වූවොත් අයකරන දඩය ඩොලර් 500 හෙවත් ලංකා මුදලින් දළ වශයෙන් රු. 50000/- කි. මීට අමතරව දුම්රියන් තුල දූරියන් නම් පළතුර ගෙනයාමද තහනම් බැව් දක්වා තිබේ. එම වරද සදහා දඩයක් අය කරන්නේ නැත. ගාමිණී අයියා කියූ පරිදි මදුලු ලෙස ගලවා පැකට් කල දූරියන් ගෙන යා හැකි අතර දූරියන් ගෙඩි ලෙස ගෙන යා නොහැක. සෑම දුම්රිය මැදිරියකම ආබාධිතයන්/ගැබිණි මවුවරුන්/කුඩා දරුවන් සමග සිටින මගීන් වෙනුවෙන් වෙන් වූ ආසන තිබේ. සිංගප්පූරු ජාතිකයන් තම රටේ පවා නොහදුනන අය වෙත සිනාවකින් හෝ සංග්‍රග නොකරන අපේ රටේ ඇත්තන් මෙන් ලෙංගතුකම පල නොකරන පිරිසක් වුවද ඉහත පිරිස වෙත වෙන් කල ආසනයක හිද සිටියේ නම් ඉතා ඉක්මනින් ඒ ආසනය ඔවුන් වෙත පිරිනමයි. බොරුවට නිදියන්නේ හෝ තව කෙනෙකු ආසනයක් දෙන්නේදැයි බලා සිටින්නේ නැත.


    MRT හි ඇතුලත වීඩියෝ දර්ශනයක්

දුම්රිය මැදිරි තුල දක්වා ඇති දඩ පත්‍රිකාව....සිංගප්පූරුවේ දඩ නැති තැනක් නැත
 
අනෙක් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වන බස් සේවාවද ඉතාමත් කාර්යක්ෂමය. බස් නැවතුම් වල රථය නවතාගෙන පසුපසින් එන බසය එනතුරු බෙලි දික්කරගෙන පසු පස බලාසිටින්නේ නැත. කලට වේලාවට බසය නැවතුම් වලින් පිටත් වන අතර දුම්රිය ස්ථාන වල මෙන් කාඩ් පත තැබීමට රථය තුල සවිකල යන්ත්‍ර කීපයක් වෙයි. ඒ නිසාම කොන්දොස්තර චරිතයක් නැත. සෑම විටම ඉදිරිපස දොරටුවෙන් රථයට නැගීමත්, රියදුරු ආසන්නයේ ඇති යන්ත්‍රය මගින් රථයට නැගුනු ස්ථානය සලකුණු කර පසුපස දොරටුව අසල යන්ත්‍රයෙන් ගමනාන්තය සලකුණු කල යුතුය. යම් හෙයකින් රථයෙන් බසින විටෙක කාඩ්පත සලකුණු කිරීමට අමතක වුවහොත් බස් රථය ගමන් කරන අවසන් නැවතුම දක්වා වූ අදාළ මුදල කාඩ්පතෙන් අඩු වෙයි. මෙම කාඩ් පත දුම්රිය /බස්රථ/ ක්‍රීඩා සංකීර්ණ/ පුස්තකාල ආදී විවිධ ස්ථාන වලට අදාළ ගෙවීම් කල හැකි පරිදි ජාලගත කරන ලද එකකි. ඇතැම් විටක දුම්රියෙන් කෙටි දුරක් ගමන් කර බස් රථයෙන් නැවතුම් දෙකක් පමණ ගිය විටෙක බස් රථය සදහා අයකරන්නේ නැත. සලකා බලන්නේ ගමන් කරන දුර පිළිබදවය. දුම්රිය ස්ථාන වල මෙන්ම බස් නැවතුම් පල වලද ඒ ඒ බස් රථ අංකයන් අනුව සවිස්තර තොරතුරු ගාස්තුවද සමග පුවරු මත සටහන් කර ඇත.
බස් රථ නැවතුම් පලක්...නිල් පැහැ කමිස ඇද සිටින්නේ රියදුරු මාමලාය.
මෙවැනි තට්ටු දෙකේ බස් පවා පදවන රියදුරු නැන්දලාද ඇති පදම් සිංගප්පූරුවේ සිටී.




ඉහත දැක්වූ සියලු ක්‍රමවේද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය සිංගප්පූරුවට කෝඩුකාර මා වැනි අයෙකුට එක්වර ග්‍රහණය කරගත නොහැකි හෙයින් පළමු දිනයේම ඒ අත්දැකීම ලබාදීමට සහන් ක්‍රියා කළේය. ලංකාවේ දකින්නට නැති මේ නුහුරු අත්දැකීම් විදි පළමු වතාවේම මා සහන්ගෙන් ඇසූවේ ඇයි අපිට ලංකාව සිංගප්පූරුව වගේ දියුණුකරන්නට බැරි කියාය. ඕවා ගැන කථා කරලා වැඩක් නෑ..මෙහෙට එන හැමෝටම ඔය ප්‍රශ්නය ඇති වෙනවා...මටත් ඇති වුනා ඒත් ලංකාවෙ වගේ දූෂිත පාලකයන් ඉන්න තුරාවට ලංකාව මේ තත්වයට දියුණු කරන්න බෑ. මේ රටවල් වල පාලකයො 100% අවංකයි කියනවා නෙමෙයි. ඒ අය මුදල් හොයන්නෙ ජනතාවට සේවය සලසන පුද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමෙන්..නැතුව ජනතාවගේ මුදල් හොරකම් කරලා නෙමෙයි. සහන් පිළිවදන් සැපයූවේ එසේය.

1965 දී මලයාවෙන් වෙන්වී ස්වාධීන වූ පසු සිංගප්පූරුව ලංකාවේ කොළඹ මෙන් දියුණු කරන්නේ යැයි පැවසූ ලී ක්වාන් යූ නායක තුමා අවසානයේ එයට අත්කර දී ඇති දියුණුව පුදුම සහගතය. එක දිගට අගමැති තනතුරේ වසර 30 ක් කටයුතු කොට ඉන්පසුවත් පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු දරා අද විශ්‍රාම සුවයෙන් සිටින එතුමා ජාතියේ පියා ලෙස සලකන අතර නූතන සිංගප්පූරුව දෙස බලා අප්‍රමාණව සතුටුවනවා නොඅනුමානය. බීමට ජලය හෝ නැති කිසිම ස්වභාවික සම්පතක් නැති බිමක පිහිටවූ රාජ්‍යයක ගුවන්තොට අද වන විට ලෝකයේ කාර්ය බහුලම ගුවන්තොටුපල 10 අතරටද වරාය , ලෝකයේ කාර්ය බහුලම වරායන් 5 අතරටද එක් වී තිබේ. සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපලට ගුවන් යානා පහත් කරන විට එරට වරාය මැනවින් පෙනේ. එක් නැවකට යාව ඊළග නැව ආකාරයෙන් නැව් සිය ගණනක් නවත්වා ඇති ආකාරය දුටුවිට මෙන්ම ගුවන් තොටුපලේ පර්යන්ත්‍ර 3 ක එකකට එකක් යා වනසේ ගුවන් යානා නවත්වා ඇති ආකාරය දුටු විටද ඒ බැව් මොනවට පසක් වේ.

අපේ රටේ මෙන් තමා නොහදුනන අය වෙත සිනහවකින් හෝ සිංගප්පූරු ජනතාව සංග්‍රහ නොකලද ඔවුන් පුදුමාකාර ලෙස නීතිගරුකය, අවංකය, උදව්වක් ඉල්ලූ කලෙක හැකි පරිදි එය ඉටු කිරීමට කටයුතු කරයි. කුඩා කඩයකින් යමක් මිළදී ගත්තද අවසන් ශතය දක්වාම ඉතිරි මුදල් නිවැරදිව ලබාදෙයි. ඉතිරි මුදල් වෙනුවට ටොෆී චොකලට් ලබා දීමක් නැත. වරක් මා බස්නැවතුමක සිටියදී පැමිණි බස් රථයකි. රථය නවතා අත් තිරිංග තද කල රියදුරු තුමා පසුපසට පැමිණ දෙර විවර කර පඩිපෙළ යටට වෙන්නට අකුලා තිබු යකඩ තහඩුවක් වැනි යමක් දිගහැර පඩිපෙළ මතින් තැබුවේය. ඉන් අනතුරුව රථයට නැගුනු ඔහු රෝදපුටුවක සිටි තැනැත්තෙකු කරුණාවෙන් ආරක්ෂිතව රථයෙන් බස්සවා බස් නැවතුම තුලට කල අතර නැවතත් පෙර පරිදි පඩිපෙළ සකසා රියදුරු අසුනට වැදුනේය. මට හමු වූ සිංගප්පූරු ජාතිකයන් සියල්ලන්ම රාජකාරිය දේවකාරිය මෙන් කරන අයවලුන් වූ අතර උදෑසන සිට සිටගෙනම රාජකාරී කරන සුපිරි වෙළදසැලක මුදල් අයකැමි වරියක් වුවද දවස අවසාන භාගයේ වුවත් සිනාමුසුව බොහෝ ප්‍රබෝධයෙන් සේවය සලසන ආකාරය දැකගත හැක.

මෙතෙක් වේලා මා විස්තර කලේ සිංගප්පූරුව භෞතික වශයෙන් ලද දියුණුවයි. මේ විස්තරය අවසන ලංකාවේ වෙසෙන හිතවතෙකුට ලංකාව මේ තරම් දියුණු නෑ නේදැයි සංවේගයක් ඇති විය හැක. නමුත් ඊළගට මා කියන්නට යන කාරණා වලින් පසු සිංගප්පූරුවේ නැති දෑ ලංකාවේ ඇති බැව් ඔබටම වැටහේවි.

සිංගප්පූරුවේ නීති රීති මෙන්ම දඩ ද නැති තැනක් නැත. මෙහි වැසියන් මේ තරමට හික්මවා ඇත්තේ ඒවා මගින් වුවත් සමහර විට ඒ නීති රීති පද්ධතිය තුල නිදහස අවම වී ඇති බවක්ද හැගේ. හදිසියේ ඇතිවන කැස්සක් නිසාවත් පාරේ කෙළ ගැසිමට නොහැකිය. ආරක්ෂිත කැමරාවක් හෝ පොලිස් නිලදරුවකු ඒ බැව් දුටුවහොත් දඩය ෂුවර්ය. ප්‍රසිද්ධියේ 10 දෙනෙකුට වඩා එකට රැස් වී අල්ලාප සල්ලාපයේ යෙදීමද නීති විරෝධී ගනයට අයත් වෙයි. රැස්වීමක් පැවැත්වීමට අවැසි නම් සැමවිටම අවසර ගත යුතුය. රජය විවේචනය කිරීමට මෙන්ම එළිපිට විරෝධතා දැක්වීමටද අවස්ථාවක් නැත.පරිසරය සුන්දර කිරීමේ අරමුණින් කපුටන් වෙඩිතබා මරාදැමීම අදටත් සිංගප්පූරුවේ සිදුවෙයි. ඒ පිළිබද දර්ශන මෙතැනින්

නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය මෙහි නැත...හැම දෙයම මුදලටය. කාගේවත් පිළිසරණක් නැති අසරණ වැඩිහිටියන් වෙනුවෙන්ද , ලංකාවේ තරම් සුභසාධක වැඩසටහන් නැත. ආහාර අළෙවිසැල්හි පිරිසිදු කිරීමේ නිරත වන පිගන් සෝදන වැඩිහිටියන් ඉතාම සුලභ දසුනකි. රටේ භූමි ප්‍රමාණය මද වීම නිසා හැම තැනම ඇත්තේ සුඛෝපභෝගී තට්ටු නිවාසයන්ය. ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 සිට ඉහළට මිළ නියම වුවද කිසිදු තැනක නිදහසේ වැළි කැටයක් පෑගිය හැකි මිදුලක් නැත. එහි අරුත සිංගප්පූරු වැසියාට කෝටි ගණනක් ගෙවා හෝ ලබාගත නොහැකි ඇතැම් දේ ශ්‍රී ලංකා වාසීන් බහුතරයක් නොමිලේ භුක්ති විදින බවයි.

ලංකාවේ දුප්පත්ම මිනිහටත් හදිසියකදී පාරෙ කෙළ ටිකක් ගහන්න, නිදහසේ පොළවෙ පය ගහලා ඇවිදින්න, දරාගන්න බැරි විටෙක අකුලකට හරි මුත්තරා බර හෑල්ලු කරගන්න තියෙන නිදහස සිංගප්පූරු වැසියාට නැත. චාරිකා සටහනක් ලෙස මා දුටු දෑ මෙහි සටහන් කලත්...පුද්ගලිකව මට නම් ලංකාව තරම් සිංගප්පූරුව වටින්නේ නැත. මා සිංගප්පූරුවට පැමිණි ප්‍රථම දිනයේම
මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක් යනුවෙන් මා මිත්‍ර ජෙරමි පැවසුවේද මේ හේතූන් නිසා විය යුතුය. සල්ලි තියෙන එකාට මිස සල්ලි නැති එකාට ජීවත් විය නොහැකි තැනට සිංගප්පූරුව පත්වෙමින් තිබේ යැයි මට සිතේ.

සිංගප්පූරුවේ භෞතික දියුණුව මගේ උපන් බිමේ නැති වුවද එහි ඇති උණුසුම, අපේ යැයි හැගීම කිසිදු රටෙක අපට අත්විදිය නොහැක. භෞතික සාධක මතින් අන් රාජ්‍යයන් අප අභිබවා ගියද අධ්‍යාත්මික වශයෙන් මගේ රටේ ඥාති සමූහයා අන් කවර රටකට හෝ නොදෙවැනි යැයි මම සිතමි. නමුත් හද පෙළන සංවේගය නම් මේ කියන භෞතික දියුණුව මගේ රටට අත්කර දී රට සුඛිත මුදිත කර අපේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට සැබෑ උවමනාවක් නිදහසෙන් පසු බිහි වූ ජනනායකයන් බහුතරයකට නොතිබීමයි. ඒ වෙනුවට තමන්ගේ බඩ වඩා ගන්නා ජඩ දේශපාලන න්‍යායක පිහිට ඔව්හු සෙව්වෝය. දැන් අප පරක්කු වැඩිද ?



මතු සම්බන්ධයි......


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

කිසිදිනක විදේශගත නොවූ අයගේ දැනගැනීම උදෙසා ඇතැම් තොරතුරු කෙටි නොකොට ඇතුලත් කළෙමි.

රටක් සැබැවින්ම දියුණු නම් එයට භෞතික වශයෙන් ලබන දියුණුව මෙන්ම පුද්ගල සුභසාධනයද ඇතුලත් විය යුතුය. ඒ අර්ථයෙන් සැලකූ කල ඔස්ට්‍රේලියාව දියුණු රාජ්‍යයකට උදාහරණයකි. එහි වැඩිහිටියන් වෙනුවෙන් යැපීම් දීමනා ලබාදෙන වැඩසටහන් පවා ක්‍රියාත්මකය.

තවත් අලුත් දුම්රිය මාර්ග 5 ක් 2030 වෙද්දී නිමකිරීමට සිංගප්පූරු රජය සැලසුම් කර ඇති අතර ඇතැම් මාර්ගයන් දැනටම ඉදිකිරීමට පටන්ගෙන ඇත.

මගේ මිත්‍රයන් මට දැක්වූ තොරතුරු අනුව සිංගප්පූරුව තුල පිටින් පෙනෙන සුන්දරත්වයම එහි අභ්‍යන්තරයේ නැත.



Friday, May 17, 2013

115 සිංගප්පූරුවේ රැකියා

සිරාගේ රට කථා මාලාවේ අද දෙවන දවසයි. සිංගප්පූරුවේ රැකියාවක් සදහා අයදුම් කිරීමට ප්‍රථම එයට අදාළ නීති රාමුව පිළිබද අවබෝධයක් ගත යුතුමය. ඒ සදහා මට හැකි අයුරින් අත්වැලක් වීමට සිතා ගතිමි. අද ලියවිල්ල ඒ කාරිය සපුරනු ඇත. රට කථා පළමු කොටසට මෙතැනින් යන්න.

සිංගප්පූරුව රැකියාවක් ලබා දීමේදී අධ්‍යාපන සුදුසුකම් ඉතා දැඩිව සලකා බලන රටකි. උපාධියක් නැතිනම් තමාගේ ක්ෂේත්‍රයට අදාළව ඩිප්ලෝමාවක් හෝ ලබා තිබීම අනිවාර්යය. එහි ඇත්තේ සුදුසුකම් අනුව රැකියා බලපත්‍ර ලබා දෙන ක්‍රමවේදයකි. අදාළ තනතුරේ සේවය කර ඇති වසර ගණන  මෙන්ම අපේක්ෂකයාගේ වයස් මට්ටමද සලකා බැලීමෙන් අනතුරුව ඔහුට ගෙවිය යුතු අවම වැටුප MOM (Ministry of Man Power) නම් රාජ්‍ය ආයතනය විසින් තීරණය කරනු ලබයි. ඊට අඩු වැටුපකට සේවය කිරීමට රැකියා අපේක්ෂකයා කැමති වුවත් රැකියා බලපත්‍රය නිකුත් කිරීමේදී ඔහු වෙනුවෙන් MOM තීරණය කර ඇති වැටුප නොමැති නම් එම අයදුම්පත් නිසැකවම ප්‍රතික්ෂේප වෙයි. විදේශිකයකු වෙත වැඩි වැටුපක් ගෙවනු වෙනුවට ඊට අඩු මිළකට දේශීය ශ්‍රමය ලබාගත හැකි වාතාවරණයකදී හැමවිටම ඔවුන් වෙත අවස්ථාව ලබාදීම ආයතනයකට ලාභදායී හෙයින් රටතුලින් හොද මට්ටමේ ශ්‍රමිකයන් සොයාගත නොහැකි වෘත්තීන් වෙත පමණක් විදේශීය සේවකයන් බදවා ගැනීමට බහුතර ආයතන ක්‍රියා කරයි.







මෙයට අමතරව විදේශීය ශ්‍රමිකයකු සිංගප්පූරු හිමිකාරත්වයක් ඇති ආයතනයකට බදවා ගැනීමට හිතුමතේ ක්‍රියාකිරීමට අදාළ ආයතනයට ඉඩක් නැත. රජය විසින් ඒ ඒ රටවල් අනුව පැනවූ සම්මත අනුපාත එයට ඇත. හැමවිටම සිංගප්පූරු පුරවැසියන්ට ප්‍රමුඛතාව දිය යුතුය. නමුත් මෙම අනුපාත කම්කරුවන් හා ගෘහ සේවකයන් බදවා ගැනීමේදී බලනොපායි.

උදා - සිංගප්පූරු ජාතිකයන් 4 කට ලාංකිකයන් 1
         සිංගප්පුරු ජාතිකයන් 2 කට චීන ජාතිකයන් 1

නමුත් බොහෝවිට සිංගප්පූරු ජාතිකයන් හා මැලේසියානු ජාතිකයන් සම මට්ටමේ තබා සැලකීම බොහෝ ආයතන විසින් සිදුකරයි. ඒ සිංගප්පූරුව මලයාව නම් අතීත රාජ්‍යයෙන් වෙන්වූ රටක් වීමත් වර්තමානයේ පවා ජලය/එළවළු/පළතුරු/මත්ස්‍ය නිෂ්පාදන ආදී බොහෝ දේ මැලේසියාව විසින් සිංගප්පූරුවට ලබාදීමත් හේතුවෙනි.

විදේශ හිමිකාරත්වයක් ඇති ආයතනයකට අවශ්‍ය විදේශ ශ්‍රමිකයන් ලබාගැනීමට ඔවුන් වෙත අසීමිත නිදහසක් පෙර පැවතුනද දැන් දැන් එයද සීමා වෙමින් පවතී. ඒ අනුව වර්තමානය වන විට ශ්‍රීලාංකිකයකුට මෙහි රැකියා අවස්ථාවක් ලබා ගැනීම කෙතරම් දුෂ්කර දැයි ඔබට වැටහෙනු ඇත. මෙයට වසර දෙකකට පමණ පෙර මේ නීති රීති ඉතා ලිහිල්ව තිබී ඇති අතර ඒ කාලයේ වීසා නිකුත් කිරීමේදී රැකියා සොයාගැනීම උදෙසාම මාස 3ක් වලංගු වීසා පතක් නිකුත් කිරීමට පවා සිංගප්පූරු රජය ක්‍රියා කර තිබේ.

සිංහපුරයේ ආයතන තමන්ගේ පුරප්පාඩු වෙනුවෙන් කෙලින්ම රැකියා අපේක්ෂකයෙකු බදවා ගන්නේ කලාතුරකිනි. එයට හේතුව වර්ෂයක් පාසා අලුත් කල යුතු රැකියා බලපත්‍රය සහ වෙනත් නීතිමය කාරණා සදහා ඔවුන් මැදිහත්ව ක්‍රියා කලයුතු වීමයි. ඒ වෙනුවට සේවකයන් සපයන රැකියා නියෝජිත ආයතනයක (Agents) සේවය ලබා ගැනීමට අති බහුතරයක් ආයතන ක්‍රියා කරයි. අන්තර්ජාල රැකියා දැන්වීමකට අයදුම්කල පසු ඒ සදහා අවශ්‍ය අවම සුදුසුකම් සපුරා ඇති අයවලුන් වෙත අදාළ නියෝජිත ආයතනයේ නියෝජිතයෙකු දුරකථනයෙන් අමතා මූලික තොරතුරු විමසීමක් සිදු කරන අතර ඇතැම් විටක දුරකථනයෙන් පළමු සම්මුඛ පරීක්ෂණය පවත්වන අවස්ථාද තිබේ. ඒ රැකියාවට අදාළව න්‍යායික කරුණු විමසීමකිනි. මේ නියෝජිත ආයතන සියල්ලක්ම රජයේ ලියාපදිංචි ඒවා වන අතර එහි ක්‍රියාකාරිත්වය පිළිබද හැම විටම විශ්වාසය තැබිය හැකි වේ.

අපේක්ෂකයා හා සම්බන්ධ මූලික සම්මුඛ පරීක්ෂණ අදාළ නියෝජිත ආයතනය මගින් පවත්වා සුදුසුකම් සනාථ කරගත් අපේක්ෂකයන් පමණක් රැකියාව සපයන ආයතනය වෙත ඉදිරිපත් කර ඒ අතරින් අවශ්‍ය ප්‍රමාණය තෝරා ගැනීමට අවස්ථාව සලසන අතර තෝරා ගන්නා අයදුම් කරුවා වෙනුවෙන් අවශ්‍ය නීතිමය කාරණා (රැකියා බලපත්‍ර සැකසීම/අලුත් කිරීම ආදිය) නියෝජිත ආයතනය විසින් සිදුකරනු ලබයි. ඒ වෙනුවෙන් රැකියාව ලබාදෙන ආයතනය ඔවුන් වෙත ගෙවීම් සිදුකරයි. සිංගප්පූරුවේ නීත්‍යානුකූලව රැකියාවේ නිරත සියලුම දෙනා පිළිබද දත්ත MOM හි ඇති අතර යම් හෙයකින් වර්තමාන ආයතනයෙන් ඉවත් වී වෙනත් ආයතනයක රැකියාවකට සේවකයා එක්වන විට පැරණි ආයතනයේ නම අදාළ සේවකයාගේ නමට ඇති දත්ත ගොනුවෙන් ඉවත් කර අලුත් ආයතනයේ නම ඒ වෙනුවට ඇතුල් කිරීමට MOM ක්‍රියා කරයි.

විදේශීය රැකියා අපේක්ෂකයන් වෙනුවෙන් සේවය සලසන්නේ නැති බැව් දැක්වෙන මෙවැනි පුවරු
නියෝජිත ආයතන ඉදිරියේ වර්තමානයේ සුලභව ප්‍රදර්ශනය කර තිබේ.




ඒ අනුව ඉතා විධිමත් ක්‍රමවේදයකින් මෙන්ම දැඩි කම්කරු නීති පද්ධතියකින්ද සේවකයා සුරක්ෂිත වී තිබේ.කරුණු එසේ වුවද සිංගප්පූරුවේ රැකියාවක් ලබා ගැනීම වර්තමානය වන විට ඉතාමත් දුෂ්කර කටයුත්තක් වී තිබේ. වසරකට නිකුත් කල රැකියා බලපත්‍රයකින් සේවය කරන අයද ඊළග වසරට එය අලුත් නොකරනු ඇතැයි යන භියෙන් පසුවෙයි. ඒ පසුගිය ජනවාරි මස 14 දින රජය පැනවූ නව නීති රීති නිසාවෙනි.

වර්තමානය වන විට මෙරට ජීවත්වන ජනගහනයෙන් 40% පමණ කොටසක් විදේශිකයන්ය. ඒ අනුව රැකියා වෙළදපලේ වැඩි ප්‍රතිශතයක් විදේශිකයන් වෙත යාම හේතුවෙන් ස්වදේශිකයන් කෙරෙහි ඇති වූ රැකියා වියුක්තිය හමුවේ සිංගප්පූරු රාජ්‍ය උපතේ සිට මේ දක්වා බලයේ සිටින සිංගප්පූරුවේ පියා ලෙස සැලකෙන ලී ක්වාන් යූ මහතා නියෝජනය කල පක්ෂය අවසන් වරට පැවැත්වූ ජනමත විචාරණයේදී පෙර නොවූ විරූ පසුබෑමකට ලක් විය. එය ජනතාව දැක්වූ රතු එළියක් ලෙස සැලකූ ලී ක්වාන් යූ මහතාගේ පුත්‍රයකු වන වර්තමාන සිංගප්පූරු අගමැති තුමා තම ජනතාවට වඩා හිතකර අන්දමින් රැකියා වෙළදපොලේ නීති රීති දැඩි කර තිබේ. එය ආර්ථික වශයෙන් රටට යම් පමණකට අහිතකර විය හැකිය. මක්නිසාද මේ වන විටත් ඇතැම් විදේශීය ආයතන තම කාර්යාල සිංගප්පූරුවෙන් ඉවත්කර ගනිමින් සිටින හෙයිනි.

පළමු සතියේම අයදුම් කල රැකියා දැන්වීම් අතරින් සම්මුඛ පරීක්ෂණයක් සදහා කැදවීම් ලැබීමට තරම් සිරා කොලුවා වාසනාවන්ත විය. මා වෙත ඊයකින් දන්වා තිබූ පරිදි මගේ සම්මුඛ පරීක්ෂණය ඊට දින දෙකකට පසු උදේ වරුවේ 11.30 ට නියමිත වී තිබිනි. මෙසේ සම්මුඛ පරීක්ෂණයක් සදහා කැදවීමක් ලද පසු එම ආයතනය පිහිටා ඇත්තේ කොහිදැයි සෙවීම ප්‍රධාන කාර්යයයි. ඒ සදහා කදිම අන්තර්ජාල සහායකයෙක් සිංගප්පූරුවේ සිටී. ඒ go there අන්තර්ජාල අඩවියයි. මා නවාතැන් ගෙන සිටින ස්ථානයේ තැපැල් සංඛේත අංකය හෝ ලිපිනය ඇතුලු කර මා යා යුතු ස්ථානයේ ලිපිනය හෝ තැපැල් සංඛේත අංකය ඇතුලු කල පසු සියලුම විස්තර එමගින් ලැබේ. දුම්රියේ යනවා නම් මා සිටින ස්ථානයේ සිට මා හට සමීප දුම්රිය ස්ථානයට යාමට ගත වන වෙලාව, නිවසේ සිට එතැනට ඇති මීටර් ප්‍රමාණය, දුම්රියෙන් බැසිය යුතු දුම්රිය පල, පිටවිය යුතු දොරටුව, ඉන් පසු නැගිය යුතු බස් රථ අංකය, තවත් බස් රථයකට මාරු විය යුතු නම් ඒ ස්ථානය, ගමනට ගත වන කාලය හා ගාස්තුව, කුලී රථයක යනවා නම් ගාස්තුව හා කාලය ආදී සියලුම දේ සවිස්තරව එහි සටහන් වෙයි. කාගෙන්වත් අසා දැනගන්නට දෙයක් නොමැති තරම්ය. සිංගප්පූරුවේ ඕනෑම තැනකට ලගා වීමට මහත් පහසුවක් ඉහත වෙබ් අඩවියෙන් ලැබේ. (උදාහරණයකට එම වෙබ් අඩවියේ සර්ච් කල යුතු තැන changi airport to woodleigh mrt ලෙස සදහන් කර සර්ච් කර බලන්න. MRT යනු දුම්රිය ස්ථාන හැදින්වීමට භාවිතා කරන කෙටි නාමයයි.Mass Rapid Transit )

ඒ අනුව මගේ තේරීම වූයේ කුලී රථයෙන් යාමයි. සිංගප්පූරුව පිළිබද අවබෝධය අඩු මා හට එය මහත් පහසුවකි. කවදත් පමාවී සම්මුඛ පරීක්ෂණ සදහා ලංකාවේදී සහභාගී වූ මා මෙහිදී ඒ නරක පුරුද්ද දුරු කරගැනීමට සිතූ හෙයින් නියමිත වෙලාවට පැයකට කලින් ගාමිණී විලාවේ වූ කුඩා බුදු පිළිමයට පහනක් දල්වා පැතුම් එක්කොට නිවසින් පිටවුනෙමි. කුලී රථයකට නැගීමට නියමිත ස්ථානයේ සිටගෙන සිටින විට ආරාධනයකින් තොරවම මාර්ගයේ ගමන් ගන්නා කුලී රථ එතැන නවත්වයි. මට කලින් පැමිණි අය සිටී නම් පෝලිමට සිටීමට සිදුවෙයි. රථ එන පිළිවෙලට පෝලිමේ මගීන් අඩුවෙයි. ඒ අනුව මගේ වාරය උදා වූ විට පැමිණියේ නවීන පන්නයේ Hyundai වර්ගයේ රථයකි. සිංගප්පූරු කුලී රථ වලින් වැඩි කොටසක් එම වර්ගයේ රථ වෙයි. Toyota Crown පැරණි මාදිලියේ රථ, Benz රථ මෙන්ම Chrysler වර්ගයේ අධි සුඛෝපභෝගී රථද සිංගප්පූරුවේ කුලී රථ සේවයේ නිරත වෙයි.

 
Chrysler වර්ගයේ කුලී රථයක්


ආචාරශීලීව මා පිළිගත් රියදුරු තෙමේ සුභ උදෑසනක් ප්‍රාර්ථනා කිරීමෙන් අනතුරුව මා හට යාමට අවශ්‍ය ස්ථානය විමසීය. සිංගප්පූරුවේ කුලී රථ පදවන පිරිමින් මෙන්ම කාන්තාවන්ද සිංගප්පූරු ජාතිකයන්ය. විදේශිකයන්ට එම රැකියාවේ නිරත වීමට එරට නීතියෙන් අවසර නැත. මගේ පිළිතුර Defu Lane 11 යන්න සහ ආයතනයේ ලිපිනය විය. ගාස්තුව සටහන් වන යන්ත්‍රයට රථයට නගින ස්ථානය ඇතුල් කල පසු රථය පිටත් විය. සිංගප්පුරුවේ කුලී රථයක් තුල GPS උපකරණයක් මෙන්ම CCTV කැමරාවක්ද අනිවාර්යෙන් තිබේ. රියදුරාට එක එල්ලේ මා කියූ ලිපිනයේ අංකය සොයා ගත නොහැකි වූ හෙයින් කීප වතාවක් වැරදි අතුරු මාර්ග වල ධාවනය කරන්නට සිදු විය. අවසානයේ රථය නිවැරදි තැන නතර විය. gothere හි සටහන්ව තිබූ අගයට වඩා වැඩි අගයක් යන්ත්‍රයේ සටහන්ව තිබිනි. නමුත් හෙතෙම මගෙන් අයකලේ වෙබ් අඩවියේ සටහන්ව තිබූ වටිනාකම පමණි. එය ඩොලර් 6කුත් ශත ගණනකි. ඒ වෙනුවට බිල්පතක්ද නිකුත් කෙරිනි. ඔහුගේ වරදින් ගාස්තුව වැඩි වූ නිසා අමතර කොටස මා ගෙවිය යුතු නොවේ. එය ඔවුන්ගේ ආචාර ධර්ම වලට එකගය.

සම්මුඛ පරීක්ෂණය සදහා නියමිත ආයතනයේ ඇතුල්වෙන දොරටුවේ වූ විදුලි සීනුව නාද කල පසු කාන්තාවක් පැමිණ කුඩා ගේට්ටුවක් විවෘත කලාය. ඇය සිනාමුසුව මගෙන් විමසා සිටියේ සම්මුඛ පරීක්ෂණයටද යනුවෙනි. මම ඔව් කියූ විට..මා කාර්යාලයට රැගෙන ගිය ඕ මා හට පිටු කීපයක පෝරමයක් පිරවීමට ලබා දුන්නාය. ලංකාවේදී මල්ලක් රුපියල් 150/- ට පමණ ලබා දෙන බේබි නාරං හටගන්නා ශාකයක් ජීවිතයේ පළමු වතාවට මා දුටුවේ මේ අවස්ථාවේය. ඒවා කාර්යාලය තුල වූ පෝච්චි වල සිටවා තිබූ අතර කහ පැහැති ඵලයෙන් බරව තිබිනි. පිළිගැනීමේ නිළධාරිනිය අසල වූයේද දොඩම් පිරවූ විශාල ප්‍රමාණයේ වේවැල් කූඩයකි. මා පසුව දැනගත් පරිදි දොඩම් යනු සෞභාග්‍ය සලසන පළතුරක් ලෙස ඔවුන් විශ්වාස කරන්නේලු.

පෝරමය පුරවා පිළිගැනීමේ නිලධාරිනියට භාරකල පසු ඇය මා රැගෙන ඉහළ මාලයක් වෙත ගියාය. එහි කිසිවෙකුත් නොවූ කාමරයක වු සාකච්ඡා මේසයක මා තනිකර ඇය මගෙන් සමුගත්තාය. මද වේලාවක් ඇවෑමෙන් චීන පෙනුමක් ඇති සිහින් නෙත් සගලකින් යුත් ප්‍රිය ජනක තරුණයෙක් කාමරයට පැමිණියෙහිය. හෙතෙම මා සම්මුඛ පරීක්ෂණයට ලක් කරන තැනැත්තාය. කාලයක සිට අදුරන මිතුරෙකු පරිද්දෙන් මා පිළිගත් හෙතෙම මගෙන් ආගිය තොරතුරු විමසා මා ලංකාවේදී කල නිර්මාණයන් සහ මගේ අයදුම් පතත්...මොහොතකට පෙර පිරවූ පෝරමයත් සියුම් ලෙස පරීක්ෂා කලේය. පසුව සුහද කථා බහක නිරත වූ හෙතෙම ඔවුන්ගේ ආයතනය හා ගණුදෙනුකරුවන්ගේ විස්තර මාවෙත දැක්වීය. මගේ අපේක්ෂිත වැටුපද පැන්සලකින් මගේ අයදුම්පතේම සටහන් කොට ත්‍රිමාණ (3D) පරිගණක වැඩසටහන් පිළිබද මගේ දැනීම විමසුවේය. ඩිප්ලෝමාව උදෙසා මා 3D හදාරා තිබුනත් ඒ සම්බන්ධයෙන් එතරම් අත්දැකීම් මා හට නැත. 2D පරිගණක ග්‍රැෆික් වැඩසටහන් පිළිබදව නම් මා සතුව ඉතා හොද දැනුමක් ඇත. මා ඒ පිළිබද ඔහු දැනුවත් කර පැවසූයේ ආයතනයට අවශ්‍ය මට්ටමේ දැනුම අවස්ථාවක් ලැබෙන්නේ නම් ඉතා කෙටි කලකින් ග්‍රහණය කරගැනීමේ හැකියාව මට ඇති බවයි. ඔහු එයට හිස සලා එකගතාව පල කලෙහිය.

සම්මුඛ පරීක්ෂණය අවසානයේ පැවති සුහද කථා බහේදී ලංකාව පිළිබද දැන ගන්නට ඔහු කැමති බැව් මා හට සැළ කලෙන් මා කෙටි විවරණයක් ඉදිරිපත් කලෙමි. ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකරන්නේ චීන සමාගම් යැයි මා කියූ විට, ඇත්තට, යැයි ඇස් ලොකු කර සිනාමුසුව මා දෙස බලා පැවසූ හෙතෙම මට පැවසූවේ දැන් දැන් සිංගප්පූරුවේ රැකියා අවස්ථා සදහා වැඩිපුර පැමිණෙන්නේ දකුණු ආසියාවේ අයවලුන් බවයි. ඒ ඇයි යන්න ඔහුගේ පැනය විය. මගේ පිළිතුර වූයේ ගෝලීය අර්බුද හමුවේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මව් රට තුල රැකියාවක නිරතවීමෙන් සපුරා ගත හැකි වුවත් ඉතිරි කිරීම් හා අනාගතය උදෙසා ආයෝජනයන් කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවන හෙයින් එසේ වන්නට ඇති බවයි.

මගේ අයදුම්පතෙහි වූ අවිවාහක යන්න මා හට පෙන්වා ඔහු විවිධ ප්‍රශ්න නගයි. වයස 30ක් වෙලත් ඇයි තවමත් කසාද නොබැන්දේ ....ලංකාවේ තරුණයින් කසාද බදින්නේ දෙමාපියන් සොයා දෙන කෙනා නේද ? ඕගොල්ලො දෑවැද්ද ගැන සෑහෙන්න සලකා බලනවාද ? ඔහුට ප්‍රශ්න රාශියකි. කසාද බැදිමට අවශ්‍යතාවක් පසුගිය සමයේ තිබුනේ නැති බවත්, ලංකාවේ කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද තමන් විවාහ වන කෙනා තෝරා ගැනීමට නිදහස ඇති බවත්, ලංකාවේ ඇතැම් අය දෑවැද්ද ගැන සළකා බැලුවත් එය ඉන්දියාවේ මෙන් ලංකාවට සමාජ ප්‍රශ්නයක් වී නැති බවත් බොහෝ අය ඒ පිළිබද තැකීමක් නොකර ආදර සබදතාවකින් පසු විවාහ වන බවත් පැවසූ විට ඔහු සෑහීමට පත්විය. අපේ හමුවීම අවසානයේ හෙතෙම මට සමුදුන්නේද ලෙංගතුව මගේ අත දැඩිව අල්ලාගනිමිනි. චීන ජාතිකයන් මෙසේ ලාංකිකයන් හා සුහද වන්නට එක් හේතුවක් වන්නේ බුදු දහමයි. අනෙක් කාරණය අතීතයේ සිට ලංකාව චීනයේ හොද මිතුරෙකු වීමයි. චීන ජාතික කාන්තාවක් ලාංකිකයන් කෙරේ දැක්වූ ආකල්පය සෘජුවම වරෙක මා වෙත කීවාය. ඉදිරි පෝස්ටුවක එය ලියන්නෙමි. අහෝ 3D ...මා ඇති පමණ ඔබ දැන සිටියා නම් අද ඩෙෆු ලේන්හි රැකියාවේ නිරතවනවා නොඅනුමානය.


මතු සම්බන්ධයි......


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

සිංගප්පූරුවේ රියදුරන් බෙහෙවින් විනීතය. එහෙත් අවිනීත රියදුරන් ලොව හැම රටකම සිටී. 2012 මැයි මස සිදුවූ කුලී රථයක් හා ෆෙරාරි වර්ගයේ රථයක් අතර වූ ගැටීමෙන් ෆෙරාරි රියදුරා,කුලීරථ රියදුරා මෙන්ම කුලීරථයේ සිටි ජපන් ජාතික තරුණියද මිය ගියහ. එහි දර්ශන සටහන් වී තිබුනේ මා පෙර කියූ පරිදි තවත් කුලී රථයක් තුල වූ කැමරාවක් මගිනි. එහි දර්ශන මෙතැනින් බලන්න.


රැකියා බලපත්‍ර වර්ග සහ ඒවා ලබාදීමේ නිර්ණායක පිළිබද දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Monday, May 13, 2013

105 අලුත් ලේබලයක් සමග සිරාගේ රට කථා

මාස දෙකකට වැඩියෙන් ගත වූ කාල සමයකින් පසු සයිබරයේ මගේ පුංචි අවකාශය තුල සිට නැවතත් ඔබ හමුවීමට ලැබීම සැබවින්ම සතුටට කරුණකි.සිරාගේ කාමරය නිසොල්මන් වී ගෙවී ගිය කාල සමය තරම් මගේ ජීවිතයට අත්දැකීම් එකතු කල තවත් කාල සමයක් නැත්තේමය. එහි දුක මෙන්ම සතුටද එකසේ තිබේ.

මාර්තු මස දෙවැනි දින උපන් බිමෙන් සමුගෙන නොදන්නා රටකට ගියේ දන්නා කියන වයසේ සිට හිතේ තෙරපී තිබෙන බලාපොරොත්තු කන්දරාවකට ජීවය දීමේ අරමුණින් මිස උපන් දේශය පිළිබද ඇතිවූ අබමල් රේණුවක හෝ තරමේ කලකිරීමකින් නොවේ. පුහුදුන් මිනිසෙකු ලෙස ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මා මේ ගමන පැමිණියේ රැකියාවක් නිෂ්චිතව සම්බන්ධ කරගෙනද නොවේ. අනාගත බලාපොරොත්තු ජය ගැනීමට තරම් ප්‍රමාණවත් වැටුපක් ලංකාවේදී ලැබීමට මා භාග්‍යවන්තයකු නොවූ තැන මගේ පාසල් මිතුරකු වූ වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවකු වන සහන් මූණු පොතේ කල කථා බහක් නිසාවෙන් විදේශගත වීමේ බලාපොරොත්තුව නම් බීජය මුලින්ම මා සිතේ වැපිරුනු බව උදක්ම කිව යුතුය. එදිනෙදා ජීවිතයේදී මුහුණ දුන් යම් යම් අපහසුතා එයට ජලය සහ පොහොර සැපයූ සාධකයන්ම වුහ. සහන් රැකියාවේ නිරතව සිටින දේශයම මගේ තෝරාගැනීමද විය.

හිමිදිරියේම මවට හා පියාට සමුදුන් අවස්ථාව අතිශය හැගීම්බර එකක් විය. පුංචි එකා සන්දියේ සිට මා ඔවුන්ගෙන් වෙන් වී ජීවත් වී නැති නිසා මෙය අලුත් අත්දැකීමකි. උදා අරුණළු මැදින් කටුනායක ධාවන පථයෙන් ගුවන් යානය ඉහළට එසවෙද්දී මගේ නෙත් කෙවෙනි තුල සිරවූ කදුලු ගුලි තුලින් උපන් දා සිට දිවි ගෙවූ, මාගේ ආදරණීයයන් වෙසෙන බිම කෙමෙන් බොද වෙද්දී හදවතට දැනුනු බර දැනුදු දැනෙනවා මෙන්ය. මෙයට පෙර සංචාරය කිරීමේ අරමුණින් මා විදේශගතව තිබුනද මෙවර එය සෑහෙන වෙනස් අත්දැකීමකි. නැවතත් උපන් බිම පැමිණෙන නිෂ්චිත දිනයක්, රැකියාවක්, නොමැතිව අතේ ඇති සීමිත මුදලින් කල යුතු දෑ රාශියක් සමග පීඩාවට පත්ව තිබූ මනසක්ද සමගින් මගේ ගමනාන්තය වූ චැංගි ගුවන් තොටුපලට යානය ලගාවුයේ පැය තුන හමාරකට ආසන්න කාලයක් ගෙවීමෙන් අනතුරුවය.

අතීත පුරාවෘත්තයන්ට අනුව සිංහයන් වාසය කලා යැයි සැලකෙන මුත් පුරාවිද්‍යා සාධක මගින් තවමත් තහවුරු නොවූ ආසියාවේ ඉහළම ආර්ථිකයකට හිමිකම් කියන සිංහපුරය (Singapore) මගේ අලුත් නවාතැන් පල විය. කලින් සපථ කල අයුරින්ම මා පිළිගැනීමට සහන් මෙන්ම මගේ පැරණි රැකියා ස්ථානයක කලමණාකාර තනතුරක් දැරූ ජෙරමි ද එක්ව සිටීම ප්‍රියයන්ගෙන් වෙන් වූ මට කදිම සමාගමයක්ම විය.



ජෙරමි ඔහුගේ රථයේ ඉදිරිපසට මා නංවාගත්තේ , උඹ දැකලා නෑනෙ සිංගප්පූරුව හොදට බලාගනින්...මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක්... යනුවෙන් පවසා උස් හඩින් සිනාසීමෙනි. ඒ වදන තුල සැගවුනු යටිඅරුත මවිසින්ම තේරුම්ගනු ඇතැයි සිතූ නිසාදෝ සහන් නිහඩතාව ප්‍රිය කළේය.

සිංගප්පූරුව හා එහි නීති රීති පද්ධතිය පිළිබද කථා බහ අතරතුර රථය මගේ අලුත් නවාතැන් පල අසලට ලගා වී තිබුනි. මගේ මිත්‍රයා රැකියාවට සම්බන්ධ වීමට ප්‍රථමයෙන් නවාතැන් ගෙන තිබුනේද එම ස්ථානයේමය. සිංගප්පූරු ශ්‍රී ලාංකිකයන් බහුතරයක් දෙනා හදුනන, සැබැවින්ම ප්‍රියමනාප, අන් අයට උදව් කිරීමේ සහජ පුරුද්දක් සහිත චරිතයක් වූ ගාමිණී අයියා නිවසේ ප්‍රධානත්වය ඉසිලුවේය. සිංගප්පූරු ජාතිකයකුට අයත් දෙමහල් නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි රැකියාවන්හි නියුතු සහ රැකියා බලාපොරොත්තුවෙන් පැමිණෙන අයට සහන මිළකට ආහාරද සමග ලබා දීමට ගාමිණී අයියා පහසුකම් සලසා තිබුනි.

මගේ අලුත් නවාතැන හෙවත් සෙසු උන් හදුන්වන පරිදි ගාමිණී විලා හි නවාතැන් ගෙන සිටි අය අතුරින් මා හැර සියල්ලන්ම වෘත්තියෙන් ඉංජිනේරුවන් වූහ. ගෘහ මූලික තෙමේද 70 දශකයේ පේරාදෙණිය සරසවියෙන් පිට වූ ඉංජිනේරුවකි. හෙතෙම සිංගප්පූරුවේ වසර 12 ක අත්දැකීම් ඇත්තෙකි. ගාමිණී විලා හි සිටි උන් අතරින් එකෙකු දෙන්නෙකු හැරෙන්නට අන් සියල්ලන් මෘදුකාංග ඉංජිනේරුවන්ය. ඒ නිසාම බොහෝ විට කණට වැටුනේ ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රයට අදාළ කරුණු වුවත් අප අතර දලු ලා වැඩුනු සහෝදරත්වයට එය බාධාවක් නොවීය. එහි නේවාසිකයන් පිළිබද තොරතුරු, සිංගප්පූරුවේ මා ගතකල සති 4ක කාල සමය තුල මා උකහා ගත් දේ, සිරා දැන් සිටින රට ආදී දේ පිළිබදව ඉදිරියේදී ඔබට කියමි.

සිංගප්පූරුවේ රැකියා වල නිරත බහුතර ශ්‍රීලාංකිකයන් සංචාරක වීසා මගින් මෙහි පැමිණ අන්තර්ජාල රැකියා අඩවි මගින් ඒ සදහා ඉල්ලුම් කර සම්මුඛ පරීක්ෂණයන්ට මුහුණ දී සාර්ථක වීම නිසා මමද එම ක්‍රමය අනුගමනය කළෙමි. එය ඉංජිනේරුවන් වූ බහුතරයක් කෙරෙහි සුබදායී ලෙස ක්‍රියාත්මක වුවද මගේ වෘත්තියට අදාළව කෙසේ වේදැයි කුකුසක් මුල සිටම මගේ සිතේ තිබුනද මගේ ක්ෂේත්‍රයට අදාළව ලංකාවේ ඇති ඉහළම පෙළේ පාඨමාලා සමර්ථව තිබූ හෙයින් ඒ අවධානම භාර ගැනීමට මගේ සිත මටම බල කලේය. මා ජීවිතයේ මෙතෙක් දුර පැමිණියේ මෙවන් හිතුවක්කාර තීරණ මතින් නිසා මෙය මට අලුත් අත්දැකීමක්ද නොවේ. ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙස සිංගප්පූරුවේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු සොයා ගැනීමට දැරූ සියලුම උත්සාහයන් අසාර්ථක වූයෙන් මට මගේ ක්ෂේත්‍රයේ තවෙකෙකුගේ විදේශ අත්දැකීම් වල පිහිට නොලැබුනි.

සිංගප්පූරුවේ රැකියා අවස්ථා පලවන ප්‍රධාන අන්තර්ජාල වෙබ් අඩවි 3කි. මේ සියල්ලේම තම තමන්ගේ දත්ත ඇතුලු කර ගිණුමක් ආරම්භ කල පසු එහි පලවෙන රැකියා අවස්ථා සදහා ඉල්ලුම් කිරීමට අපේක්ෂකයන්ට අවස්ථාව ලැබේ. ආයතනයන්හි පවතින පුරප්පාඩු සදහා සේවකයන් සපයන තැරැව්කරුවන්ද මේ අඩවි වලින් දත්ත ලබා ගන්නා නිසා අයදුම්කරුවන් දෛනිකව තමන්ගේ ගිණුම් යාවත්කාලීන කල යුතුය. උදෑසනම අවදි වී අලුතින් පලවී ඇති රැකියා අවස්ථා සදහා අයදුම් කල පසු දිණය පුරාවටම වරින් වර මේ අඩවි නිරීක්ෂණය කල යුතුය. ඒ අලුත් රැකියා දැන්වීමක් පලවීමට වෙලාවක් කලාවක් නැති හෙයිනි. දිනය පුරාවටම පරිගණක තිරයක දෙනෙත් සිරකර ගතවූ සති 3ක් පිළිබද මොහොතක් සිතන්න. එය කෙතරම් නම් වෙහෙසකරද...බලාපොරොත්තු සහගත දෑස්වලින් මා සමග සිටි සියල්ලන්ම තම තමන්ගේ අනාගත සාර්ථකත්වය සොයයි.

රැකියා කරන අය උදෑසනම විලාවෙන් පිටත්ව ගිය පසු නිවසේ ඉතිරි වන්නේ රැකියා අපේක්ෂිත මගේ වර්ගයේ කීප දෙනෙකි. මේ සියල්ලන්ම තම තමන්ගේ ලැප්ටොප් පරිගණක පේලියට තබා ගෙන රැකියා දඩයමේ යෙදෙන්නේ උදෑසන 6 පමණ සිටය. ඇතැම් දිනක මධ්‍යම රාත්‍රිය දක්වාම මේ වෑයමේ නිරතවීමට සිදුවිය හැකිය. එය සැබැවින්ම නීරස අත්දැකීමකි. ගාමිණී අයියා නොමසුරුව ලබාදෙන Wifi පහසුකම නිසා මේ කාර්යය පහසුය.

චීන හෝ ඉන්දියානු අවන්හලකින් ආහාර ලබා ගැනීම / ශීතකරණයේ ඇති පරාටාවක් රත් කරගැනීම/ තමන්ට හැකි පරිදි හොද්දක් බතක් සකසාගැනීම යන අකාරයන් මගින් උදෑසන හා දිවාකාලයේ ආහාර අවශ්‍යතා සපුරා ගත්තත් රාත්‍රියට නම් අනිවාර්යෙන්ම ගාමිණී විලා හි මුලුතැන්ගෙය කාර්යය බහුලය. රැකියා නිමවී පැමිණෙන බහුතරයක් දෙනාද අහාර ඉවීමේ කටයුතු වලට දායක වේ. ඇතැම් වෙලාවක ප්‍රධාන සූපවේදී තනතුර ගාමිණී අයියා දැරුවද තවත් අවස්ථාවක ලංකාවේ දකුණු පලාතෙන් සිංගප්පූරුවට සංක්‍රමණය වී සිටින ලක්මාල් ඒ තනතුරට වගකියයි. මුහුදු මාලු වර්ග පිසීමට ඔහු දක්වන්නේ සැලකිය යුතු දක්ෂතාවකි. ඔහුගේ ඉස්සන් හොද්දේ සුවද උඩු මහලේ කාමර තුල සිටින උන් මුලුතැන් ගෙයට කැදවීමට සමත්ය. සිරා කොලුවා දන්නේ පරිප්පු හොද්ද හදන අකාරය පමණක් නිසා ලූණු ගෙඩියක්, මිරිස් කරලක් කපා දීමෙන් පමණක් මේ කටයුතු වලට දායක වීමට සිදු වූ බැව් සැලකුව මනාය. නමුත් පරිප්පු පිසින දිනයට නම් සිරා කොලුවා තම හැකියාවන් මොනවට පෙන්වයි.

සෙනසුරාදා හා ඉරිදා දිනයන් සිංගප්පූරුවේ බහුතර ආයතන වසා ඇති හෙයින් ගාමිණී විලා වෙත අවශ්‍ය අඩුම කුඩුම ගෙන ඒමට පිරිස වෙළදපොල වෙත යන දිනය වන්නේ ඒ දිණ දෙකෙන් එකකි. මුළුතැන්ගෙයට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම සතියක් සදහා අවශ්‍ය මාලු හා මස් වර්ග ද ශීතකරණයේ ගබඩා කරන්නේ හොදින් පිරිසිදු කිරීමෙන් අනතුරුවය. මාලු කපා සුද්ධ කරන මෙහෙයුමේ ප්‍රධානත්වය උසුලන්නේද පෙර කියූ ලක්මාල්මය. මුහුද අසබඩ නගරයක අයෙකු නිසා ඔහුට මේ කාරණා හිච්චි එකා කාලයේ සිටම පුහුණු වී ඇති සෙයකි. සතියකට අවශ්‍ය තරමට මස්/මාලු ගෙන ආවත් ඇතැම් විටක ඒවා සතියේ පළමු දින දෙක තුනෙන් අවසන් වන අවස්ථාද නැතුවාම නොවේ. ඒ ලංකාවට නිවාඩු ගොස් නැවත පැමිණෙන එකකු ගෙනඑන සැරබීම බෝතල වලට පින්සිදුවන්නට ඒවා බයිට් වීමෙනි. එසේ වූ විටක ඉතිරි දින කීපයේ ආහාර අවශ්‍යතා සපුරාගැනීමට විකල්ප ක්‍රමවේදයන්ගේ පිහිට පැතීමට ගෘහ මූලික තෙමේ හට සිදුවේ.

එළවලු හා අනෙකුත් ද්‍රව්‍ය ගෙන ඒමට යන නඩය සමග මමද කීප වතාවක්ම Fair Price ගියෙමි. සිංගප්පූරුවේ පිරිසිදු පානීය ජලය මෙන්ම ගොවි බිම්ද නොමැති නිසා එහි පානීය ජල අවශ්‍යතාවය මෙන්ම එළවළු, පළතුරු අවශ්‍යතාවයද සපුරන්නේ අසල්වැසි මැලේසියාවයි. Fair Price සිංගප්පූරුවේ අඩු මිළට පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමට සෑම නගරයකම ඇති කර ඇති අර්ධ රාජ්‍ය හිමිකාරත්වයක් ඇති ආයතනයකි. හරියට අපේ සමූපකාරය වාගේය. නමුත් මෙහි තත්වය, පෙනුම ලංකාවේ සුපිරිම වෙළදසැල්ද පරදවන සුලුය. නැතැයි කියන්නට දෙයක් නැත...පොඩි එකාගේ සූප්පුවේ සිට අරක්කු බෝතලය දක්වාම දේවල් මේ තුල ඇත. බොහෝ විට සේවය සදහා සිටින්නේ මැදිවයසේ කාන්තාවන්ය. එහෙත් ඇතැම් තැනක තරුණියන්ද වෙති. මේ ගමනට බොහෝ විට එක්වන ඇතැමෙකුගේ ප්‍රියතම විනෝදාංශයක් වන්නේ මුදල් අයකැමි තරුණිය අසලට වී සිංහල බසින් ඇගේ රූ සපුව සහ ශරීරාංග වර්ණනා කිරීමයි. කිසිත් නොවැටහෙන තරුණිය සිනාසී තම සේවය සපයයි.

Fair Price හි තායිලන්ත කුරුම්බා (Young Coconut) විකිණීමට තබා ඇති ආකාරය. 
කුරුම්බයක්  දළ වශයෙන් ලංකා මුදලින් රු 140/-






රට කථා කැමති ඔබට තවත් විස්තර ඉදිරියට.........


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

මිතුරාගේ ඉල්ලීම පරිදි ඔහුගේ සැබෑ නාමය වෙනුවට ආරූඩ නාමයක් යෙදීමට සිදුවිය.
මේ අතර තුර හිට් නොතකා ලියවෙන සිරාගේ කාමරේ පළමු හිට්ස් ලක්ෂය වාර්තා කිරිමට සමත් විය. 



























Thursday, May 9, 2013

61 අම්පාර විද්‍යානන්ද පිරිවෙනින් මතු වූ පුංචි සිනා මල්

මේ පෝස්ටුවේ සිට රට කථා කියන්නට මම කලින් සිතා සිටියෙමි. සිරාගේ කාමරයට පැමිණි බොහෝ අයගේ ඉල්ලීම වූයේද එයයි. එනමුදු හදිසියේ මා ලද විද්යුත් ලිපියක් ඒ සියල්ල කණපිට පෙරලූයෙන් කලින් සැලසුම් නොකලද මෙවන් ලිපියක් අද සිරාගේ කාමරයේ හදිසියේම පලවෙයි. 

ඔබ බ්ලොග් ලියන්නේ ඇයි ? මේ ගැටළුවට විවිධ අය විවිධ පිළිතුරු දිය හැකි වුවත් සිරාගේ අවංක පිළිතුර නම් මා බ්ලොග් ලියන්නේ සිරා කොලුවා වන මගේ ස්වයං තෘප්තිය උදෙසා බවයි. එහිදී මා කියවීමට පැමිණෙන පාඨකයන් වෙත උපරිම සාධාරණයක් කිරීමට මම හැම විටම උත්සාහ කරමි. ඔවුන්ගේ දැනුමට අඹමල් රේණුවක හෝ දෙයක් එකතු කරන්නට හැකි නම්, යහපත් මතවාදයක් සමාජගතකිරීමට හෝ අන් අයගෙන් පිළිසරණක් අපේක්ෂාවෙන් පසුවන  කාට හෝ සරණක් වන්නට හැකි නම් සිරාගේ කාමරයේ ඒ උදෙසා නිබදව ඉඩක් වෙන්වෙයි.

නැගෙනහිර පළාතේ සිදුකල චාරිකාවකින් පසු සිරාගේ කාමරය තුල මා ලියු අරංතලාව පිළිබද වූ ලියවිල්ලද උක්ත අරමුණ සාක්ෂාත් කරන්නකි. ඒ තුලින් එදා මා ඔබෙන් ඉල්ලා සිටියේ සරණක් නැතිව ලතැවෙන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පිරිසක් වෙත පිළිසරණ වන ලෙසයි. ඊට අවශේෂ පරිසරය පිළිබද තොරතුරුද එදා මවිසින් සදහන් කළෙමි. ඊයෙ පෙරේදා දිනක මා ලද විද්යුත් ලිපිය එයට සම්බන්ධ වූවකි. එය කියවූ අවස්ථාවේ ඇති වූ චිත්ත ප්‍රීතිය දැනුදු දැනෙනවා වැනිය. ඒ ගැන විස්තර ඔබම කියවා දැන ගනු පිණිස කිසිදු සංශෝධනයකින් තොරව එය මෙහි පල කරමි. අරංතලාව පිළිබද මා ලියූ පෙර ලිපිය කියවූයේ නැතිනම් එය මුලින් කියවා පසුව මෙය කියවීම වඩා සුදුසු යැයි සිතමි.

තවෙකෙකුට සරණක් වීමෙන් පසු දැනෙන ප්‍රීතිය හදුනන්නේ එය භුක්ති විදි අයෙකු පමණි. මා හට මේ පිළිබද දැනුම් දුන් සත්පුරුෂයන්ද අද මේ සතුට භුක්ති විදින බවට අටුවාටිකා අවශ්‍ය නැත. දිනෙන් දින සෝදාපාළුවට යන ගුණ ධර්ම ඇති සමාජයක මෙවැනි සත්පුරුෂයන්  තව තවත් දිරිගන්වනු උදෙසා ඒ පිළිබද සටහනක් තැබීමට මා රිසි බැව් මම ඔවුන් වෙත සැළ කලෙමි. ඔවුන්ගේ පිළිතුර වුයේ අප පිළිබද සටහනක් නොතබා අප කල කාර්යය පිළිබද පමණක් අවැසි නම් සටහන් කරන ලෙසයි. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම පරිදි මේ සටහන තුල මේ කාර්යය උදෙසා දායක වූවන්ගේ නම් ගම් නොමැතිය. මෙහි පලවන ඡායාරූපයන් මාගේ ඉල්ලීම පරිදි මවෙත එවන ලද එවාය.

තමන්වෙත ලැබෙන පරිත්‍යාගයන් දෙස සොම්නස් සහගත ඉරියව්වෙන් බලා සිටින කුඩා සංඝයා වහන්සේ දුටු කල සියුම් ප්‍රීතියකින් මසිත ඔකද වෙයි. මේ ආධාර ලබාගැනීමට මමද දායක වුනෙමි යන සිතිවිල්ල මා සිත අමන්දානන්දයට පත්කර ඇති සෙයකි. ඉදින් සබද ඔබටත් ඔබේ බ්ලොග් ලියවිල්ලක් තුලින් බොහෝ දෑ කරන්නට හැකි යයි මෙමගින් අදහසක් ගන්න. හැකි සෑම විටෙකම ඒ උදෙසා අවස්ථාව ලබා දෙන්න. සිරා කොලුවාගේ ඉල්ලිම එයයි.


මා ලද විද්යුත් ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව මෙසේය.

(උපුටා ගැනීම)


පින්වත් මිතුර;

ඔබගේ බ්ලොගයේ පලවු අරන්තලාව ඛේදවචකය පිලිබද ලිපිය දැක (http://siragekamare.blogspot.com/2012/08/blog-post_21.html), අම්පාර විද්‍යානන්ද පිරිවෙන වෙත ගොස් මහත් වු පින් කමක් කර ගැනීමට හැකිවිය. මමත් මගෙ කල්‍යාණ මිත්‍රයින් පිරිසකුත් එකතු වී සම්පූර්ණ කර ගත්තා වු මේ සියලු පින් ඔබටද අඩු නැතිව අනුමොදන් වේවා. තව තවත් යහපත් දේ වැදගත් දේ ඔබේ බ්ලොගයේ පලකරත්වා.
මෙවැනි විස්තරයක් ඔබ දැනුම් නොදෙන්නට අපට මෙය සාක්ශාත් කල නොහැකිවනු ඇත.
අප පූජා කල යම් ද්‍රවය සහ පොත් පිලිබද විස්තරයක් ඉදිරිපත් කරමි. අසා සතුටු වීමට මිස මෙය ඉදිරිපත් කරන්නේ ලොකු කමකට නොවේය. ඔබට බොහෝ පින් සිදු වේවා.

අප සියලු දෙනාම එක්වී පූජා කල භාණ්ඩ;

Exersice books 200 Pages (Single Rule)---------------350+
Exersice books 200 Pages (Square Rule)---------------150+
A4 sheet Bundle--------------------------------------5
CR books---------------------------------------------100+
Eraser-----------------------------------------------100+
Blue pen---------------------------------------------250+
Black pen--------------------------------------------150
Red Pen----------------------------------------------100
Pencil-----------------------------------------------250+
pencil (coloured ones)------------------------------100
Pencil sharpner--------------------------------------100+
Ruler (12'')----------------------------------------- 100+
Mahtematical Box (Kawakatu petti)-------------------  50+
Glue bottle
Scissors-------------------------------------------- 50
Stapplers
Staplers pin
Calculators------------------------------------------- 5 or 5+
punchers
Files
පිරුවානා පොත් වහන්සේ (ඇලුත් වැව සෝරත හිමි.)-----------------------------10
පාලි වරනැගිල්ල.------------------------------------------------------------------ 29
සංස්කෘත වරනැගිල්ල.------------------------------------------------------------  30
පාලි භාෂාවත්වරණය 1------------------------------------------------------------ 10
පාලි භාෂාවත්වරණය 2------------------------------------------------------------ 10
පාලි භාෂාවත්වරණය 3------------------------------------------------------------ 10
පාලි ව්‍යාකරණ විවරණය
සංස්කෘත නාම සංඛයාත පදමාලා
පන්සිය පනස් ජාතක පොත 1
පන්සිය පනස් ජාතක පොත 2
අභිධර්ම චන්ද්‍රිකාව
අභිධර්ම ප්‍රදීපිකා 1
අභිධර්ම ප්‍රදීපිකා 2
සංස්කෘත සිංහල ශබ්ද කෝෂය
ශාසනාවත්වරණය (රේරුකනේ හිමි )----------------------------------------------5+
සුවිසි ගුණ විවරණය (රේරුකනේ හිමි )-------------------------------------------- 5+
ත්‍රිපිටක ධර්ම කෝෂය
බෞද්ධ ශබ්ද කෝෂය 1
බෞද්ධ ශබ්ද කෝෂය 2
ලෝ වැඩ සගරාව
බුත්සරණ
අමාවතුර
පූජාවලිය
විශුද්ධි මාර්ගය
සද්ධර්මාලංකාරය
මහාවංසය
බාලාවතාරය
ගුත්තිල කාව්‍යය
සංයුක්ත නිකාය 1
සංයුක්ත නිකාය 2
දීප නිකාය
මජ්ජිම නිකාය 1
 මජ්ජිම නිකාය 2
අංගුත්තර නිකාය 1
අංගුත්තර නිකාය 2
ඛුද්ධක නිකාය 1
ඛුද්ධක නිකාය 2
ඛුද්ධක නිකාය 3
ඛුද්ධක නිකාය 4
ඛුද්ධක නිකාය 5
ඛුද්ධක නිකාය 6
2 dhamma books
Malalasekara English sinhala Dictionary---------- 5
Concise Oxford Dictionary------------------------ 1
Slippers(rubber)---------------------------------------- 50
සිවුරු(Poplin Material Thani Pata Siwura )----------- 50+
අදන-------------------------------------------------------     20+
Medicine baskets
Essential English Grammer ( Raymen murphy)-------2
Intermediate english Grammer ( Raymen murphy)----2
Advanced English Grammer (Martin Hewings)--------2
English Grammer -------------------------- part 1,2,3,4

Later added

oxfor pocket dictionary
සකස්කඩ--------------------------------------------------------------------------------------       10
සුභාෂිතය -------------------------------------------------------------------------------------       4+                          සිරිත්මල්දම
බාල පණ්ඩිත බණ දහම් පොත-----------------------------------------------------------------      10
සාමණේර බණ දහම් පොත --------------------------------------------------------------------     10
Nail cutters------------------------------- 50
racers------------------------------------- 50
Umbrealla---------------------------------- 10
Bags ---------------------------------------5
toothpaste
toothbrush
soap
sinhala tami dictionary
sinhala hindi dictionary
මහා සිංහල ශබ්ධකෝෂය
sinhala english dictionary
English reading books for podi swameen wahanse
sinahal reading books  for podi swameen wahanse
පාපිසි
Chocolates (Podi swameen wahanse)---------- 20 (kandos 160g)

And many other books and items not listed here.
Extreamly sorry for that. i can not remember some items
we all have added.

මේ සියලු පින් කුසල් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා.

(උපුටා ගැනීම අවසන්)


පරිත්‍යාගයන් සිදුකල දින ලබාගත් ඡායාරූප...

 ශාස්ත්‍ර‍පති පූජ්‍ය කිරිදිවැල සෝමරතන නායක හිමිපාණන්





මෙවැනි සත්පුරුෂයන් සිටින බැව් අසන්නට ලැබිමද සතුටකි. 
මේ සද්කාර්යයට දායක වූ සියල්ලන්ටම තෙරුවන් සරණයි !



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

පිටරට කථා මීළග පෝස්ටුවේ සිට

වූෂු ශූර අබේරත්න  වෙනුවෙන් මා ලියූ ලිපියද මෙලෙසම ඵල දැරූ අතර ඒ අවස්ථාවේ ඔහු ලද ආධාර නිසාවෙන් සහභාගි වු බල්ගේරියානු චාරිකාවෙන් පසු මේ වසරේ දැනටම ඉන්දියානු පුහුණු සංචාරයක් ඔහු නිමාකර ඇත. මේ වන විට ඔහු සිටින්නේ ජපානයේ පහුණුවීම් වල යෙදෙමිනි....තවත් මාස කීපයකින් ඔහු ප්‍රංශයේ සංචාරය කරයි. එම ලිපිය පල වූ අවස්ථාවේ ඔහුට සහාය දැක්වීමට පෙරමුණ ගත් දුකා අයියා ඇතුලු සත්පුරුෂයන් මහත් සෙනෙහසින් නැවත වතාවක් මතක් කරමි.










Related Posts Plugin for WordPress, Blogger...